Header Ads

Breaking News
recent

ශවේන්ද‍්‍රට වඩා යුද අපරාධ කල අයෙක් හමුවෙයි

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

කිසිම සාක්ෂියක් නැතුව හිතළු මත පදනම්ව රචිත දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදය යුද අපරාධ චෝදනා එල්ල කරමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරලා තිබෙනවා.
ශවේන්ද්‍ර සිල්වා වැරදිකරු වුණු අධිකරණය කුමක්ද?

ශවේන්ද්‍ර සිල්වාට පමණක් මේ තහනම ගේන්න ශවේන්ද්‍ර තනියම කළ යුද අපරාධය කුමක්ද? ඇමෙරිකාව මේ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය යුතුයි. ශවේන්ද්‍රට දඬුවම් දෙන්න ඔහු කළ එකම අපරාධය ඇමෙරිකාව පරාජය කරන්න බෑ කියා වර්ග කළ කොටි සංවිධානය පරාජය කරන්න තීරණාත්මක ලෙස දායක වීම ද? එතකොට ඇමෙරිකාව 2001 දී ත්‍රස්තවාදයට එරෙහිව ලෝක යුද්ධය නමින් ඇරඹුවේ බොරුවක් ද?

නිර්දෝෂි ශවේන්ද්‍රට යුද අපරාද චෝදනා නගන ඇමෙරිකාව තමයි ලොව අංක එකේ යුද අපරාධකරුවා. ජපානයේ හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් අත් හැරලා 80,000ක් අහිංසක මිනිසුන් මරා දාලා තවත් 70,000ක් තුවාල කළා. නාගසාකි නගරයට එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 40,000ක් මරා දාලා 60,000ක් තුවාල කළා. දෙවන ලෝක යුද්ධය අවසන් වුණාම ඉතිරි බෝම්බ ඇමෙරිකාවට ගෙන යෑම වියදම්කාරි නිසා ඒ බෝම්බ ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් නගරයට ගුවනින් අත් හැරලා 25,000ක් මරලා දැම්මා.

වියට්නාම් යුද්ධයේ දී අහිංසක ජනතාවට රසායනික අවි ප්‍රහාර ජීව විද්‍යාත්මක අවි ප්‍රහාර එල්ල කරලා වියට්නාම් ජාතිකයින් ලක්ෂ 38ක් මරලා දැම්මා. ඒ විතරක් නොවේ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කියලා බොරු චෝදනා මත ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරලා ලක්ෂ 15ක් මරා දැම්මා.

ඇත්තටම යුද අපරාධකාරයා ඇමෙරිකාවයි. ඇමෙරිකාව ලංකාවට යුද අපරාධ චෝදනා නගනවා කියන්නේ දැලි කුණු වැකුණු මුට්ටිය රිදී හට්ටියකට ඔබ කලුයි කියනවා වගේ වැඩක්. ඒ නිසා අපි ඇමරිකාවට කියනවා ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියලා.

– අරවින්ද අතුකෝරල


No comments:

Powered by Blogger.