Header Ads

Breaking News
recent

නයි, මුගටි වෛරයෙන් සිටි මහින්දයි - චන්ද්‍රිකායි ‌සෙට් වුණු හැටි

හලෝ මැඩම්
ආ… ඕගොල්ලො දැන් ලොකු මිනිස්සුනේ
අපි නම් ඉතින් ඒ වගේම තමයි. මැඩම්නෙ ඉතින් ගොඩක් ලොකු මිනිස්සු වගේ හිටියේ
දැන් දැනෙනව මෛත්‍රි වගේ මිනිහෙක්ට ජනාධිපතිකමක් අරන් දෙන්න ගිහිල්ල කරගත්ත වැරැද්ද

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙවර පැවැත්වුණේ 72 වැනි නිදහස් දිනයය.

බොහෝදෙනකු එය ඉකුත් කාල වකවානුවලදී පැවැත්වුණු ආකාරයටම වෛවාරණ, විච්චූරණවලින් යුතුව පැවැත්වෙනු ඇති බව සිතා සිටියද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා මෙවර නිදහස් උළෙලේදීද වෙනස්කම් රැසක් කිරීමට උපදෙස් ලබාදී තිබිණ.

ඉන් ප්‍රධානම එකක් වූයේ පසුගිය කාලවකවානුව පුරාම කොළඹ ගෝස්ෆේස් පිටිය ඉදිරිපිට පැවැති නිදහස් දින උළෙල මෙවර නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ගොස් තිබීමය.  මීට පෙර නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිට නිදහස් උත්සවයක් පවත්වා තිබුණේ මීට වසර 15කට පෙරාතුවය.


මීට අමතරව නියමිත කාලවේලාවට පටන්ගෙන නියමිත කාල වේලාවට අවසන් කිරීමට හැකිවන ලෙසත්, නාස්තිකාර වියදම්වලින්වලින් තොරව අඩු වියදමකින් නිදහස් උත්සවය සංවිධානය කරන ලෙසත් ජනාධිපතිවරයා එහි සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබිණි. එසේම අමුත්තන්ට ආරාධනා කිරීමේදී වෙනසක් නොමැතිව හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු යුද හමුදාපතිවරුන්ටද ආරාධනා කරන ලෙසටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබිණි. එමෙන්ම උත්සවය හැකිතාක් කෙටි කරන ලෙසත්, අනවශ්‍ය අංග කපාහරින ලෙසත් කළ දැනුම්දීමට අනුව මෙවර කලකට පසු රටේ ජනතාවට සරල, චාම් එහෙත් අභිමානවත් නිදහස් උත්සවයක් දැකබලා ගැනීමේ හැකියාව ලැබී තිබිණ.

චන්ද්‍රිකා ආවේ ‌කොහොමද?

ඒ අනුව මෙවර නිදහස් උත්සව වේදිකාවේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකබලා ගැනීමට ඉඩ ලැබුණු අතර ඉන් ප්‍රධානම තැනක් ගත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පැමිණීමත්, උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා ලැබ තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොපැමිණීමත්ය.

කෙසේ වෙතත් සියලු දෙනාම බලා සිටියේ පසුගිය කාලයේදී නයි, මුගටි වෛරයෙන් සිටි රාජපක්ෂවරුන් සහ බණ්ඩාරනායකවරුන් මේ ආකාරයට එක වේදිකාවට ඒමට තරම් ඇයි හොඳැයියක් හිටිහැටියේම ඇතිවූයේ කෙසේද යන්න කියාය. ඒ සඳහා මූලික පදනම වැටුණේ පසුගිය සතියේ පැවැති ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතාගේ සමුගැනීමේ සාදයේදීය. අප ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය තුළින් එම සමුගැනීමේ සාදයේ යම් යම් තොරතුරු හෙළි කළද මෙවර අපට එම සාදයේ සිදුවූ තවත් රසවත් බොහෝ සංවාද වාර්තා විය. ඒ අනුව මෙවර අප හෙළි කරන්නේ රාජපක්ෂවරුන් හා බණ්ඩාරනායකවරුන් අතර හිතවත්කමක් මතුවීමට තුඩුදුන් මෙම හමුවේ තොරතුරුය.

හලෝ මැඩම්…

මෙම සාදයට දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම නායකයන් පාහේ සහභාගිව සිටි අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන විටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඊට පැමිණ තිබූ ආකාරය දැකගන්න හැකිවිය. ඒ අනුව මහින්දත්, ශිරන්තිත් ඇතුළට එද්දීම චන්ද්‍රිකා හමුවූ නිසා යම් විරසකයක් තිබුණද මහින්ද සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන “හලෝ මැඩම්…” යනුවෙන් චන්ද්‍රිකාව ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළේය. වෙනදා මේ ආකාරයට මහින්ද සිනාසී කතා කළත් ඔරවාගෙන අහක බලාගෙන සිටි චන්ද්‍රිකා මෙදින ඒ සියල්ලම අමතක කොට සිනාසී කියා සිටියේ “ආ… ඕගොල්ලො දැන් ලොකු මිනිස්සුනේ…” යැයි කියාය. මහින්දද ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමින්මය.
“අපි නම් ඉතින් ඒ වගේම තමයි. මැඩම්නෙ ඉතින් ගොඩක් ලොකු මිනිස්සු වගේ හිටියේ…” යනුවෙන් කී මහින්ද චන්ද්‍රිකා සමග තවත් සුළු වේලාවක් කතා කරමින් සිට ඇය සමඟ තනියට සිය බිරිය වූ ශිරන්තිද රඳවා පැමිණ සිටි අනෙකුත් අමුත්තන් සමඟ කතාබස් කිරීමට යන ආකාරයක් දැකගැනීමට ලැබිණ. ඒ අනුව චන්ද්‍රිකාත්, ශිරන්තිත් බොහෝ වේලාවක් කතාබහේ යෙදී සිටි අතර දකින සියල්ලන්ටම පෙනී ගියේ මේ දෙදෙනා ඉතා කුළුපගුව දැඩි හිතවත්කමකින් යුතුව කතාබස් කරන ආකාරයක්ය. එහිදී චන්ද්‍රිකා දිගින් දිගටම කතා කරමින් සිටින බවත්, ශිරන්ති ඊට ඔළුව වනමින් නිහඬව පිළිතුරු දෙන ආකාරයත් දැකගන්නට ලැබිණ. දෙපාර්ශ්වය අතර හිතවත්කමට මඟපෑදුණේ මේ කතාබහය. කතාබහේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.

මෛත්‍රී ‌දෙන්නාව ‌සෙට් කරයි

එහිදී චන්ද්‍රිකා මෛත්‍රි තමන්ට සිදුකළ කුහකකම්, කුඩුකේඩුකම්, යටිකූට්ටු වැඩ පිළිබඳවත්, සිය සොහොයුරා වූ අනුර බණ්ඩාරනායකට කළ දෑ පිළිබඳවත්, අවසානයේදී මහින්දට කළ දෑ පිළිබඳවත් උදාහරණ සහිතව ශිරන්තිව දැනුවත් කිරීමට පියවර ගත්තාය. එමෙන්ම මෙහිදී චන්ද්‍රිකා මෙම සංවාදය අවසන් කිරීමේදී විශේෂ වටිනාකමක් ඇති වචන කිහිපයක්ද ශිරන්තිට සඳහන් කර සිටියාය. ඒ, “මට දැන් දැනෙනව මෛත්‍රි වගේ මිනිහෙක්ට ජනාධිපතිකමක් අරන් දෙන්න ගිහිල්ල කරගත්ත වැරැද්ද. මම මේ සති දෙක තුනට තේරුම්ගත්තා ගෝඨා වගේ කෙනෙක් අර මනුස්සයාට වඩා දහස් වාරයක් වටිනවා කියලා..” යන්න චන්ද්‍රිකා එහිදී ශිරන්තිට කී අවසන් වචන කිහිපය විය.
ඒ අනුව අපට දැනෙන ආකාරයට ශිරන්ති මේ චන්ද්‍රිකාගේ වචන සියල්ල මහින්දට ඒ අයුරින්ම පැවැසුවාට සැකයක් නැත. මහින්ද හරහා හෝ වෙනත් ආකාරයකින් මේ වචන මේ ආකාරයෙන්ම ගෝඨාභයගේ කනටද වැටෙන්නට ඇත. ඒ අනුව ගෝඨාභයගෙන් චන්ද්‍රිකාට දුරකතන ඇමැතුමක් ගිය ආකාරයක්ද නිල නොවන ආකාරයට රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී නිදහස් උත්සව වේදිකාවට පැමිණෙන ලෙසට ගෝඨාභය නිල වශයෙන් චන්ද්‍රිකාට දැනුම් දුන් බවක්ද අපට දැනගන්නට ඇත. කලක් රාජපක්ෂවරුන් සමඟ මහත් විරසකයකින් පසුවූ චන්ද්‍රිකා හිටි හැටියේම රාජපක්ෂලාගේ නිදහස් දින උත්සවයට ගොඩවීමේ පසුබිම් කතාව එයය.

No comments:

Powered by Blogger.