Header Ads

Breaking News
recent

බල්ලෙක් පොලිසියට දුන් ඔත්තුව

හොර මැරකම්, මත්කුඩු වැටලීම් සඳහා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පිටරටින් ගෙන්වනු ලබන පොලිස් සුනඛයන්ගෙන් සිදුවන්නේ උපරිම සේවාවක්.

එහෙත් ගමේ ගොඬේ දඩාවතේ යන අපේ රටේ සුනඛයන්ට වැඩිපුර ලැබෙන්නේ කෙණහිලිකම්ය. දඩාවතේ යන සුනඛයන්ගෙන් ද හොඳ සේවාවක් ඉටුවෙන නමුත් අපේ උදවිය එම සුනඛයන් අගය කරන්නේ නැත.

මා දන්නා ආකාරයට දඩාවතේ යන සුනඛයන් දෙදෙනකු කිරිබත්ගොඩ ජාතික නිවාස යෝජනා ක‍්‍රමයේ පස්මං හන්දිය දිවා රෑ මුරකරති.

නාඳුනන පුද්ගලයකු සැක සහිතව පාරේ ගමන් කළහොත් එම පුද්ගලයා පසුපස මීටර් සියයක් පමණ දුර බුර බුරා යෑම එම සුනඛයන්ගේ පුරුද්දය.

මෙම සුනඛයන් දෙදෙනා එම හන්දිය මෙසේ මුරකරනු ලබන්නේ ඒ අවට කඩ හිමියන් දෙන කෑම බීම නිසා ඊට කලගුණ සැලකීමක් වශයෙන් යැයි සඳහන් කළ හැකිය.

ට‍්‍රැෆික් සුනඛයා

මීට වසර කිහිපයකට උඩදී ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ කොළඹ - නුවර මාර්ගයේ ඉඟුරුකඬේ හන්දියේ රාජකාරියේ නියැළී සිටින පොලිස් රාළහාමි කෙනකු අසල වැතිරී සිටින සුනඛයෙක් අපට නිතර දෙවේලේ දක්නට ලැබුණි. මෙම සුනඛයා එම රාළහාමි සමග යළිත් පොලිසියට පවා නිතර යෑමට ඒමට පුරුදුව සිටියේය.

මාර්ග නීති කඩකරන රියැදුරන් පදවන වාහනවලට බුරන එම සුනඛයා ග‍්‍රැන්ඞ්පාස් පොලිසියේ කාගෙත් සිත් දිනාගෙන සිටියේය. මේ නිසා මෙම සුනඛයා ‘ට‍්‍රැෆික් සුනඛයා’ ලෙස වඩාත් ජනප‍්‍රිය වී තිබුණි.


කිරිබත්ගොඩ ජාතික නිවාස ක‍්‍රමයේ පස්මං හන්දියේ මුරකාරයෝ


අපේ මිනිස් පරපුරේ සමහරුන්ට වඩා සුනඛයන්ට ඇත්තේ හොඳ ගතිගුණය. ඊයේ පෙරේදා දවසක දඩාවතේ යන සුනඛයෙක් ඉතාමත් අපූරු ක‍්‍රියාවක් සිදු කළේය.

මිරිහාන ඇඹුල්දෙණිය ප‍්‍රදේශය තුළදී මෙම සුනඛයා එහේ මෙහේ ඇවිද ගියේය.

කිසිවකු මෙම සුනඛයා ගණනකට ගත්තේ නැත. මෙම ප‍්‍රදේශයේ අලූතින් තනනු ලබන නිවසක් අසල නතර වූ සුනඛයා එහි තිබූ සැක සහිත බෑගයක් ඉව ඇල්ලූවේය.

මෙම බෑගය ඩැහැගත් සුනඛයා මඳක් ඉදිරියට දිව්වේය. පොලිස් නිලධාරියකු දැක එම බෑගය දමා සුනඛයා එතනින් ඉවත්ව ගියේය.

සුනඛයා දමා ගිය බෑගය කුමක් දැයි කියා පොලිස් නිලධාරියා සොයා බලා එම බෑගයේ තිබූ 3. 8 වර්ගයේ රිවෝල්වරය උසස් පොලිස් නිලධාරීන් අතට පත් කළ බව වාර්තා වෙයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රිවෝල්වරය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණි.

මිරිහාන පොලිසියේ නිලධාරීන් එම මාර්ගයේ සවිකර තිබූ ආරක්‍ෂක කැමරා පද්ධතිය පරීක්‍ෂා කළේය.

මෙම රිවෝල්වරය සඟවා තිබූ ස්ථානය අසලට සැකකරු පැමිණෙන ආකාරය කැමරාවේ සටහන් වී තිබුණි.

රිවෝල්වරය ගෙන සැකකරු වටපිට බලමින් මෙය ඒ අසල සඟවන අයුරු පැහැදිලිව පෙනෙන්ට තිබුණි. මෙම පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ අයිතිකරුය.

සැකකරු අල්ලා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. ඉඩම් ප‍්‍රශ්නයකට තමාගේ අසල්වැසියකු ඝාතනය කිරීම සඳහා රිවෝල්වරය මිලට ගත් බව ඔහු පැවසීය.

ගමේ ගොඬේ දඩාවතේ යන සුනඛයා මෙම අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමට පොලිසියට සහාය නොදුන්නේ නම් අද හෙටම විශාල අපරාධයක් සිදුවීමට ඉඩ තිබුණි.

මෙම සුනඛයා කළ උසස් සේවාව සඳහා ඇගයීමට ක‍්‍රියා කිරීම ඉතා වැදගත් බව ප‍්‍රදේශවාසීහු දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම්දීමක් ද කර ඇත.

අපේ සමහර මිනිසුන් මෙම සුනඛයාගේ ක‍්‍රියාව ඉතා අගය කළ යුතු අතර දඩාවතේ යන සතුන්ට හිරිහැර නොකර ඔවුන්ට හොඳින් සැලකිය යුතුව තිබෙන බව පොලිසිය පෙන්වා දෙයි.

පොලිස් සුනඛයන් පිටරට සිට ශ‍්‍රී ලංකාවට ගෙන්වා

ගැනීම සඳහා වැය කරන මුදල් කන්දරාව අනුව අපේ සුනඛයන් ද පුරුදු කළහොත් වැඩක් ගත හැකි යැයි මිරිහාන පදිංචිකරුවෝ පවසති.

ගණන් හදන බල්ලා...

මීට වසර ගණනාවකට උඩදී හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ පාලන යුගයේදී මෙවැනි දඩාවතේ යන සුනඛයෙක් ගැන ද අපි වාර්තා කළෙමු.

එම සුනඛයාගේ හිමිකරු මාදම්පේ රූබන්ය. ඔහු විවිධ නගරවලට ගොස් මෙම සුනඛයා ලවා ඉලක්කම් එකතු කර පෙන්වීමට හුරු කළේය.

මාධ්‍ය මඟින් මෙම සුනඛයාගේ ක‍්‍රියාව දුටු හිටපු ජනාධිපති පේ‍්‍රමදාස මහතා එම සුනඛයාව එදා ගම්උදාවට ඉදිරිපත් කර තිබුණි.

එම සුනඛයා එදා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියට පත්වී තිබුණි.

No comments:

Powered by Blogger.