Header Ads

Breaking News
recent

අපි වැරැද්ද බාරගත්තා - අපි ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා - (video)

ටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් තමන් සමාව අයැද සිටින බව ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සඳහන් කර සිටියි.
ලකුණු 161 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කරගත් එම තරගය නැරඹීම සඳහා නව දහසකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් එකවර ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් සහ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වාතාවරණයක් හට ගනු ලැබීය.

මේ සම්බන්ධව මාධ්‍යවල තොරතුරු පළ වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඇයැද සිටියේය

“ඇත්තටම අපි හිතුවේ නෑ මෙච්චර සෙනගක් තරගය නරඹන්න එයි කියලා. තරගය ආරම්භයට පෙර අපි ප්‍රවේශ පත්‍ර 3000 ක් විකුණලා තිබුණා. තව ප්‍රවේශ පත්‍ර 2000 ත් 2500 ත් අතර සංඛ්‍යාවක් මුද්‍රණය කරල තිබුණා. නමුත් තරගය පටන් අරන් සුලු වෙලාවක් යනකොට 8000 ත් 9000 ත් අතර පිරිසක් එතැනට පැමිණියා”.

“ඇත්තටම සිද්ධ වුණේ ලංකාව අපේ අය පන්දුවට පහර දෙනකොට ඇතුළේ ඉන්න ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දුන්නා. 9000 ක් විතර එළියේ රැස් වෙලා හිටපු ප්‍රේක්ෂකයින් ඒ සද්දෙට තියෙන කඩාගෙන ඇතුළට යන්න උත්සාහ කළා. ඒක තමයි එතන ඇත්තම සිදුවීම” යැයි පවසන සභාපතිවරයා, “ක්‍රීඩා ලෝලීන්ට වෙච්ච මේ සිදුවීමට ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන කණගාටුව පළ කරනවා”යැයි පැවැසූ ශම්මි සිල්වා මහතා නැවත එවැනි අතපසුවීම් සිදු නොවන බවට වූ ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.

“අපි හිතුවේ වැඩ කරන දවසක් හින්දා වැඩිය සෙනග එන එකක් නෑ කියලා. ටිකට් විකිණිලා තිබුණෙත් 3000 ක් විතර. කොහොම වුණත් අපි මේ තරගය නැරඹීමට පැමිණි සියළුම දෙනාට නොමිලගේ තරගය නරඹන්න අවස්ථාව ලබා දුන්නා. වාර්තාගත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මෙම තරගයට ලැබීම නිසා අපිට වාර්තාගත ජයග්‍රහණයක් ලබන්නටත් හැකියාව ලැබුණා. ඒක නිසා ඒ වෙච්ච වැඩේට මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විදියට ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව භජනය කරනවා. ඒ වගේම ඒකෙන් කාට හරි සිත් තැවුලකින් හරි මොනවහරි දේකින් හරි අපහසුතාවයට පත් වුණා නම් ඒ වගකීමත් අපි භාරගන්නවා”යැයි සිය අදහස් පළ කිරීමේදී සභාපතිවරයා සඳහන් කර සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඇඟිල්ල දිගු කර සිටියද මේ කිසිදු පහර දීමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිම සම්බන්ධයක් නොමැති බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරීන ඈෂ්ලී ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

ආරක්ෂාව පිළිබඳව කටයුතු සිදුකෙරෙනා අයුරු සම්බන්ධව පැහැදිළිව කරුණු දක්වා සිටි ප්‍රධාන විධායක වරයා ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආරක්ෂාව සම්බන්ධව වගකීම අදාළ පාර්ශ්වයන් වලට ලබාදීමෙන් පසු ඒ සම්බන්ධ කිසිදු වගකීමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් නොවන බවද සඳහන් කර සිටියේය.

ඒ පිළිබඳව පූර්ණ හැඳින්වීමක් කළ ඒ මහතා, “තරගාවලියක් ආරම්භ වෙනකොට අපිට තියෙන ලොකුම වගකීම තමයි ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව. මේ තරගාවලියට විතරක් නොවෙයි හැම තරගාවලියකටම කළින් ආරක්ෂාව සඳහා සැලසුමක් සකස් කරන්නේ ඒ නිසයි. අපි වැඩ කරන්නේ ඒ සැලසුමට අනුවයි. මෙහි ගොඩක් වගකීම හිමිවෙන්නේ පොලිසියට. ඔවුන් සමඟ මේ දෙපැත්තේ අසුන්ගෙන සිටින මහත්වරුන් දෙදෙනා තමයි ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාව සම්බන්ධ වගකීම් භාරව සිටින හිටපු ගුවන් හමුදා සභාපති රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා යන මහත්වරුන් පෙන්වමින් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඈෂ්ලී ද සිල්වා මහතා, “පොලිසියට මේ වගකීම භාර දුන්නහම අපි යළිත් ඔවුන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ නෑ. එයාලා තමයි ආරක්ෂාව සම්බන්ධව වගකීම දරන්නේ. ඔවුන් සමඟ අපි යළිත් සම්බන්ධ වෙන්නේ තරගයෙන් පස්සේ. එතැනදි බලන්නේ හරියට ඒ දේවල් සිදුවුණාද කියන එක. මේ තරගයෙදිත් අපි බැලුවා මොකද වුණේ කියලා. අපිට අවශ්‍ය ප්‍රේක්ෂකයොයි. ඔවුන් තමයි අපේ ක්‍රීඩකයින්ව දිරිගන්වන්නේ.සභාපති තුමා කිව්වා වගේ කොහොමත් මින් ඉදිරියට ඔය වගේ ගැටළුවක් නොවෙන්න අපි කටයුතු යොදනවා”යි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර උද්ගත වූ තත්ත්වය සම්බන්ධව අදහස් දක්වා සිටි විශ්‍රාමික මේජර ජනරාල් සොයිසා මහතා, “සම්ප්‍රදාය අනුව පොලිසිය තමයි ක්‍රීඩාංගණයේ ආරක්ෂක රාජකාරි වලින් වැඩි කොටසක් ඉටු කරන්නේ. ඊට අමතරව ප්‍රවේශ පත්‍ර සම්බන්ධව වෙනමම පෞද්ගලික පිරිසක් යොදවලා තියෙනවා. ඔය තත්ත්වය උදා වුණාට පස්සේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු යොදනවා මිසක් කාටවත් ගහන්න කොහෙත්ම අණ දීමක් සිදුවෙන්නේ නෑ. මෙතැනදි මං දකින්නේ පොලිසියේ ඔවුන්ගේ ආරක්ෂක කටයුතු කිරීමේදී ඒගොල්ලන්ගේ ඒ කටයුතු කරන පිළවෙළ අනුව ක්‍රියාකරලා තියෙන්නේ”යැයි සඳහන් කර සිටියේය.

“මිනිස් බලය සහ ඒ සම්බන්ධවක්‍රියා කරන ආකාරය ගැන තීරණය ගන්නේ පොලිසියයි. එතැනිදී ඒ ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව ක්‍රිකට් ආයතනය හෝ අපේ උපදේශනයක් කොහෙත්ම දෙන්නේ නෑ. මේක පළවැනි වතාවට සිදුවුණු දෙයක් නොවෙයි. කිසියම් සෙනග හැසිරවීමේදී එහෙම තමයි ඔවුන්ව පුහුණු කරලා තියෙන්නේ” විශ්‍රාමික මේජර් ජනරාල් වරයා වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.


No comments:

Powered by Blogger.