Header Ads

Breaking News
recent

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් තැබේ



ජනාධිපතිවරයා විසින්  විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කෙරේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද අට වන දිනටත් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මල්වතු පාර්ශ්වයේ අධිකරණ සංඝනායක හිමිනමක් වූ පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මේ බව සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අට වන දිනටත් අද මෙම කරුණු සලකා බැලීම සිදු විය.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  වසංගත තත්වයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවක විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැදවීම තුළින් අත්වන ප්‍රතිඵලය කුමක් දැයි ප්‍රශ්න කර සිටියේය.

නව රජයට අයවැය අනුමත කර ගැනීමට පවා සහායක්  නොදැක්වු විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව, යලි කැඳවූ  පමණින් වසංගතය තත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු සහායක් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා දැනට මහ මැතිවරණය සදහා භාර දී තිබෙන නාම යෝජනා පත්‍ර අහෝසි කරගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළා.

අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසමට සිදු වුයේ පාලනය කල නොහැකි කොවිඩ් වසංගත තත්වය නිසා බවත් මෙසේ මැතිවරණය කල් දැමූ පමණින් කිසිවෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය නොවන බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් ඇතුළත මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බව සදහන් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නොමැති බවත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ මාරපන මහතා සදහන් කළේය.

ඒ අනුව මෙම පෙත්සම් තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් ඒවා සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොරෝනා වසංගතය හමූවේ දේශපාලන වාසියක් අත් කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කලේය.

මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන වික්ටර් අයිවන්, පාක්‍යසෝති සරවනමුත්තු, රංජිත් මද්දුමබණ්ඩාර, රවූෆ් හකීම්, පාටලී චම්පික රණවක, කුමාර වෙල්ගම යනාදී පූද්ගලයන්  වත්මන් රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල  පදනම් විරහිතව නිර්දය ලෙස විවේචනය කරමින් සිටින පූද්ගලයන් බව ඔහු පෙන්වා දුන්නේය.

ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා වෙර දැරූ මෙම පිරිස වර්තමානයේ මහ මැතිවරණය කල් දමා ඒ තුළින් රජයේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමේ අරමුණින්  මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බව ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබා දීමෙන් පසුව සති 09 ත් 11 ත් අතර කාලයක් තුළ මැතිවරණයක් පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

මේ තුළින් මැතිවරණ කොමිසම මහ මැතිවරණය කල් දැමීම සඳහා පෙත්සම්කරුවන්ට නොමද සහායක් සපයමින් කටයුතු කරන ආකාරය පෙනී යන්නේ යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා මෙම නීති කෘත්‍යය තුළ දැරූ පරස්පර විරෝධී ස්ථාවරයන් තුළින් එය මනාව ඔප්පු වන බවද පෙන්වා දුන්නේය.

 දේශපාලන අවශ්‍යතාවක් ඉටුකර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති හෙයින් ඒවා සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ සම්මත කළ විසර්ජනය පනත යටතේ ඉකුත් අප්‍රේල් මස 30 වනදා දක්වා රජයේ කටයුතු සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම සඳහා රජයට බලය පැවරී තිබුණු බව පැවසීය.

එවැනි නීතිමය ප්‍රතිපාදන පවතිද්දී ණය ලබා ගැනීමේ කටයුතු ඉටු කර ගැනීම වෙනුවෙන්  විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැදවීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට මතු නොවු බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අතරමැදි   පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මාස තුනකට වඩා වැඩි කාලයක් මහ මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසමට බලය පවරා ඇතැයි පෙන්වා දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශවය විසින් මතු කරන තර්කය පදනම් විරහිත බව ඔහු සදහන් කළේය.

කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා  මෙරට තුළ  නීති  ප්‍රමාණවත්ව පැවති හෙයින් අලූතින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් පෙත්සම්කරුවන් සදහන් කරන ආකාරයට කොරෝනා මැඩීම සඳහා නව නීති සැකසීමට පාර්ලිමේන්තුව කැදවීමේ අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට මතු නොවු බව පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දිනට කල් තැබුණි.

No comments:

Powered by Blogger.