Header Ads

Breaking News
recent

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි


පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සැප්තැම්බර් මස 2, 3 සහ 4 යන දින වල විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළා. 

මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන අය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර දැනුම් දුන් අතර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අද දින  පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පවසා සිටියේ ඇතැම් පෙත්සම් වලට අදාළව තම සේවාදායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ නොතීසි අදාළ වග උත්තරකරුවන් වෙත මැයි මස 22 වෙනිදාට පෙර යැවීමට කටයුතු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම් වලට  එරෙහිව විරෝධතා ජූනි මස 16 දා වන විට ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කළ අතර ප්‍රතිවිරෝධතා ජූලි මස 16 දා ගොනු කිරීමට පෙත්සම්කරුවන්ට නියෝග කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කළා. 

මෙම පෙත්සම් අද දින විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

No comments:

Powered by Blogger.