Header Ads

Breaking News
recent

කොග්ගල බ්‍රැන්ඩික්ස් සේවිකාවකටත් කොරෝනා..සේවය කරන විට දෙදෙනෙක්ට ලක්ෂණ ඇති වේ – ආයතන බස් රථයේ සියයක් පමණ යනවාලු

කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි ප්‍රකාශ කර සිටිනවා.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකුට උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ පිහිටි වෛද්‍ය ඒකකය වෙත ප්‍රතිකාර සඳහා යොමු කොට තිබියදී ඔවුන් ගාල්ල මහ මෝදර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් අහඹු PCR පරීක්ෂණයකට ලක් කොට තිබු බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

එලෙස සිදුකළ PCR පරීක්ෂණයේදී එම සේවිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම නිසා ඇයව ඊයේ (29) රාත්‍රියේදීම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් අනෙක් සේවිකාවගේ PCR පරීක්ෂණය සෘණාත්මක වුවත් ඇයද කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නිවෙස් නිරෝධායනයට යොමු කොට දින කිහිපයකට පසුව දෙවන PCR පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කර සිටියේ.

ගාල්ල, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සේවිකාවන් දෙදෙනාම බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ලබාදෙනු ලබන ප්‍රවාහන පහසුකම් භාවිතා කරන බවට හෙළිවී ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එම බස් රථයේ තවත් සේවක සේවිකාවන් 75-100 ත් අතර පිරිසක් ගමන් කොට ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.

කොවිඩ් වෛරසය ආසාදිත වූ සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් ඇතුළු 62 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම PCR පරීක්ෂණ වලට ලක් කළ බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ. එම ජෛව සාම්පල් ගාල්ල කරාපිටිය රෝහලේ පිහිටි රසායනාගාරයට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායානාගරය වෙත යොමු කොට ඇති බවත් හදිසි කරුණක් ලෙස සලකා මෙම පරීක්ෂණ ප්‍රථිපල අද (30) දහවල් වන විට ලැබීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියා.

මෙම කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණයන්ට ලක් කළ සේවක සේවිකාවන් 62 දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද ඔවුන්ගේ නිවෙස් වෙතම ගෙන ගොස් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට යොමු කළ බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.

කොග්ගල පිහිටි මෙම බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1500 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන බවයි වාර්තා වන්නේ.


No comments:

Powered by Blogger.