වෙළඳ කලාපයේ නිරෝධනයට දැමූ සේවක සේවිකාවෝ ආහාර හිඟයක
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධානය වෙමින් සිටි කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ව හදිසියේම ඔවුන් නේවාසිකව සිටි නේවාසිකාගාරවලට ගෙන විත් දැමීමෙන් ඔවුන් ආහාර පාන හිඟයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් සහ සේවායෝජක සමාගම්වල ගැටලූ සඳහා ක්ෂණික පියවර ගැනීම සම්බන්ධීකරණයට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් හේවගේ මහතාට නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකින් මේ බව හෙළිව තිබේ.
අදාළ ලිපියෙන් මේ ගැටලුවට වහාම මැදිහත්වන්නැයි නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය ඉල්ලා තිබේ.
Covid-19 නිරෝධානය කිරිම නිවෙස්වලම කිරීමට ජාතික කාර්ය සාධන බලකාය ගන්නා ලද තීන්දුවට අනුව පසුගිය නොවැම්බර් 03 වැනිදා සිට මෙසේ කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඔවුන් සිටි නේවාසිකාගාරවලට ගෙනවිත් දමන බව වාර්තා වේ.
නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය සඳහන් කරන්නේ සැලකිය යුතු සේවක සේවීකාවන් පිරිසක් මෙසේ ගෙනවිත් ඇති බවයි.
ඔවුන් පළමු නිරෝධායන කාලය අවසන් කිරිමෙන් පසුව තවත් දින 14 ක් එම නේවාසිකාගාරවල නිරෝධායනය විය යුතු බවට ද ඔවුන්ට දන්වා ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අප නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ (05) යවන ලද අදාළ ලිපියට අද්මිරාල් වරයා අද (06) පිළිතුරු එවා ඇති බවයි.
එමගින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බවද එහි දක්වා ඇතැයි ඔහු කියා සිටියේය.
No comments: