විපක්ෂය කිව්වාට මේ මොහොතේ බඩුමිල ඉහළ යාම රජයට පාලනය කරන්න බෑ - වෙළඳ ඇමති බන්ධුල
රටේ බඩුමිල ඉහළ ගොස් ජනතාව පීඩාවට පත්ව ඇතැයි විපක්ෂය දිගින් දිගට චෝදනා කළ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් උද්ගතව ඇති තත්වයන් නිසා මේ මොහොතේ බඩුමිල ඉහළ යාම යනු රජයට පාලනය කළහැකි තත්වයක් නොවන බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"විපක්ෂය දිගින් දිගටම චෝදනාවක් එල්ල කරනවා මේ රටේ ජනතාවට උසුළාගත නොහැකි බඩුමිල පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීලා ජීවන වියදම් ගැටළුව උග්‍ර වෙලා තියෙන බවට. වෙළඳ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් මට බොහොම අවංකවත් හෘදයාංගමවත් මේ රටේ ජනතාවට කියන්න තියෙන්නෙ, අපේ රට ලංකා ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙන්නෙ කොවිඩ් 19 වසංගතය යටතේ.
අර්තාපල්, පරිප්පු, කඩල, මුං ඇට මේ වගේ භාණ්ඩත් පිටරටින් ගෙන එනවා. දැන් මේ භාණ්ඩ ගෙන එන සමහර වෙලාවට වරායවල් වහලා. සමහර වෙලාවට නැවක ඉන්න කාර්ය මණ්ඩලය කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා. එතකොට බෑම් පැටවුම් ක්‍රියාවලිය කරන්න බෑ. කොළඹ වරායට එන නැව් වියට්නාමයට, සිංගප්පූරුවට වෙන තැන්වලට යනවා. ඒ ගිහිල්ලා තව දවස් 7කින් විතර එනකොට මේ ගෙනාපු භාණ්ඩ ටික නරක් වෙලා. නරක් වුණාට පස්සෙ වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇතිවෙනවා. හිඟය ඇති වෙනකොට ඒ භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒක රජයට පාලනය කළහැකි සාධකයක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
No comments: