Header Ads

Breaking News
recent

අගමැතිගේ ප්‍රකාශයෙන් ඉන්දීය විදෙස් ඇමති අපහසුතාවයට !

නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) සිදු කළ ප්‍රකාශය හේතුවෙන් මෙරට දෙදින නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අපහසුතාවයට පත්ව ඇතැයි තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සෘජුවම ප්‍රශ්න අසන අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ බැවින් කොළඹ වරායේ නාවික තදබදය ඉවත් කොට සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර දෙක ඇතුළත නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය ඉන්දියාව, සහ ජපාන රජයන් අතර එකඟතාවයට ආ ගිවිසුම් අනුව නොව වත්මන් රජය ණය ලබා නොගෙන නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අගමැතිවරයා පැවසීය.

එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසි දායක වන අයුරින් පවත්වාගෙන යාම සඳහා අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඇමැති මණ්ඩල අනුමැතිය පරිදි සම්මුති හා ව්‍යාපෘති වශයෙන් කමිටු දෙකක් පත්කර ඇතැයිද මෙහිදී පැවැසීය.

නැගෙනහිර බහාලුම් පර්යන්තයේ දිග මීටර් එක්දහස් තුන්සිය විස්සක් වන අතර දැනට සංවර්ධනය කර ඇත්තේ මීටර් හාරසිය හතලිහක් වැනි ප්‍රමාණයක් බවද හෙතෙම කීය.

සංවර්ධනය කර ඇති මෙම කොටස මුළු ව්‍යාපෘතියෙන් සියයට පහළොවකි.

ඉතිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 590 ක් පමණ වැයවන බව අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

-srilankamirror


No comments:

Powered by Blogger.