Header Ads

Breaking News
recent

ලොක්කන්ගෙ වරදින් ශ්‍රී ලන්කන් අවුලෙන් අවුලට

රාජකාරි අවස්ථාවේදී කොරෝනා රෝගය වැළඳෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් යොමු කිරීමට නිසි මධ්‍යස්ථානයක් සකස් කරන ලෙසට ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ශ්‍රී ලන්කන් පාලනාධිකාරියෙන් කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීම ඉවත දැමීම හේතුකොට ගෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ගුවන් නියමුවන් තීන්දු කර ඇත.

මෙම සංසදයේ ලේකම් ප්‍රධාන ගුවන් නියමු ගෙහාන් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන්හි සේවය කරන ගුවන් නියමු සාමාජිකයන්ගෙන් මෙම ඉල්ලීම කොට ඇත.

ඒ අනුව රොස්ටරයට අනුව නිවාඩු ලබාදී ඇති දිනවල පියාසර නොකිරීම, එම කාලසීමාව තුළ රාජකාරි වෙනස්කම් සඳහා ඉල්ලුම් කිරීම හෝ ලැබෙන ඉල්ලුම් පිළිනොගැනීම, ස්ථාවර රාජකාරි වේලාවෙන් පිටත ගුවන් ගමන් භාර නොගැනීම හා රාජකාරි දිනවලදී පවා විකල්ප රාජකාරි භාර නොගැනීමට කටයුතු කරන ලෙසට මෙම ලිපිය මඟින් ගුවන් නියමුවන්ට දැනුම් දීමක් කර තිබේ.

ඔවුන් විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ ලබන 21 වැනි දිනට ගුවන් තොටුපොළවල් සියල්ල විවෘත කිරීමට රජය විසින් තීන්දුවක් ගෙන තිබියදීය.

මේ හේතුවෙන් බොහෝ විට ගුවන් යානා පියාසර කරවීමට නියමු හිඟයක් ඇති විය හැකි බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම ගුවන් නියමු සංසදයේ ඉල්ලීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන විපුල ගුණතිලක මහතා යවා ඇති පිළිතුරු ලිපියත් සමඟ තත්ත්වය තරමක් බරපතළ වී ඇති බව දැනගන්නට තිබේ.

හෙතෙම එම ලිපිය මඟින් සඳහන් කොට ඇත්තේ ඇතැම් සේවකයන් වෛරසයට නිරාවරණය වී ඇත්තේ වෛරසය සමාජයේ පුළුල්ව පැතිරී පවතින හෙයින් බවකි.

මේ අතර මේ වන විට ප්‍රධාන ගුවන් නියමු සිවුදෙනකුට රාජකාරි අවස්ථාවේදී කොරෝනා රෝගය වැළඳී ඇති බවද තහවුරු වී තිබේ.

මේ වන විට ඔවුන් ඉරණවිල පිහිටි කොරෝනා මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇති බවත්, එහි මූලික පහසුකම් අවම මට්ටමක පැවැතීම හේතුවෙන් ඔවුන් දැඩි මානසික ආතතියකට පත්ව ඇති බවත් දැනගන්නට තිබේ.

මේ හේතුව මත ගුවන් නියමු සංසදය පෙන්වා දෙන්නේ මෙරට ප්‍රධාන සමාගම් කිහිපයක්ම ඉතා ඉහළ මට්ටමේ කොරෝනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන හෙයින් එවැනි විශේෂිත මධ්‍යස්ථානයක් සකස් කොට ශ්‍රී ලන්කන් ගුවන් සේවකයන්ට සහනයක් සලසන ලෙසටය.

-mawratanews


No comments:

Powered by Blogger.