Header Ads

Breaking News
recent

නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමෙන් අපේ ජනතා හිතවාදී බව තහවුරු වුණා - ඇමති ප්‍රසන්න

රාය නැගෙනහිර ජැටිය විකිණීමේ යහපාලන ගිවිසුමෙන් ඉවත්වීමෙන් ආණ්ඩුවේ ජනතාවාදී බව නැවත රටට තහවුරු වූයේ යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ හම්බන්තොට වරාය මෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටියද විකුණා දැමීමට පිඹුරුපත් සැකසූ යහපාලන නඩය අද ජාතික සම්පත් විකුණන බවට වත්මන් ආණ්ඩුවට චෝදනා කිරීම තරම් විහිලුවක් තවත් නැති බවයි.

යහපාලනය විසින් ගෙන ආ රටට අහිතකර ගිවිසුම් වලින් ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුව ඉවත් වෙමින් සිටින බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වරාය නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියේ පාලනය යටතේ පවත්වාගෙන යාමට රජය තීරණය කිරීමත් සමග විපක්ෂයට යන එන මං නොමැති වූ බවද පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරුන් සමග අද (02) පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය. උඩුගම්පල ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ වරාය නැගෙනහිර ජැටිය විකුණන්න ගිවිසුම ගැහුවේ රනිල් මෛත්‍රී ආණ්ඩුව. විපක්ෂ නායක සජිත් එතකොට යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමති. මේකට අඳාල කැබිනට් පත්‍රිකාව 2019.05.24 දින සාගල රත්නායක හිටපු ඇමතිවරයා තමයි දාලා තිබුණේ. මේක එදිනම ඇමති මණ්ඩලය අනුමත කර තිබුණා. ඒ අනුව 2019 මැයි 28 වන දින රජය විසින් ඉන්දියානු හා එජාප රජයක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලා. මේ ගිවිසුම ප්‍රකාශයයි වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධ අර්බුදය මතුවුණේ. වරාය ජැටිය විකුණන්න හැදුවේ අපි නෙමෙයි. යහපාලන ආණ්ඩුව. එදා කැබිනට් මණ්ඩල සාමාජිකයෙක් වුණ සජිත් ප්‍රේමදාස මහතා අද කථා කරන්නේ මැරිලා ඉපදුනා වගේ . එදා එහෙනම් සජිත්ට විරුද්ධ වෙන්න තිබුණා. ඔය අද අපි රට විකුණනවා කියලා කෑගහන බහුතරයක් එදා යහපාලනයට කඩේ ගිය අය හම්බන්තොට වරාය විකුණනකොට මේ අයගේ කටේ පිට්ටු දාල ද තිබුණේ. රනිල් – මෛත්‍රී විතරක් නෙමෙයි එදා යහපාලන ආණ්ඩුවේ හිටපු කැබිනට් මණ්ඩලය , මන්ත්‍රීවරු එකට කඩේ ගිය රතු අලි පැටව් , NGO කොටි පැටව් සියලු දෙනා එදා එළඹුන රටට එරෙහි ගිවිසුම්වලට වගකියන්න ඕනා. ජනාධිපති මෛත්‍රී මේකෙන් අත පිහා ගන්න හැදුවට ඔහුට ඉන් ගැලවිය නොහැකි. හිටපු අගමැති රනිල් කිව්වා නැගෙනහිර ජැටිය එයාල විකුණන්න පිඹුරුපත් හදපුහැටි. එකෙන් හොදටම ඔප්පුවෙනවා රනිල්-මෛත්‍රී ආණ්ඩුව රට වෙන්දේසි කල හැටි. ඒ ගිවිසුම් වලට එළඹෙනකොට  කැබිනට් ඇමති වෙලා හිටපු සජිත් ඇතුළු පිරිස දැන් රට විකුණනවා යැයි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාට චෝදනා කරන එක තරම් විහිළුවක් තවත් තියෙනවාද? රටක් තව රටක් එක්ක ගිවිසුමකට එළඹුනාම ඒකෙන් අයින් වෙන්න ලේසි නෑ. ඒක ඉතා ප්‍රවේශමෙන් සිදු කරන්න ඕනෑ. හැබැයි අපි යහපාලනය එළඹුනු රටට අහිතකර ගිවිසුම් වලින් මේ වනවිට ඉවත් වෙමින් තිබෙනවා. මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදුණු මේ ආණ්ඩුව කිසිසේත් ජාතික සම්පත් විකුණන්නේ නෑ. අපි ඒක යලිත් ඔප්පු කලා. අපි MCC ගිවිසුමෙන් ඉවත් වුණා. ඒ වගේම පහුගිය යහපාලනය ගෙන ආ රටට එරෙහි සියලු ගිවිසුම් වලින් අපි ක්‍රමානුකූලව ඉවත් වෙනවා .

2015 දී වගේම අදත් විපක්ෂය හදන්නේ බොරුවෙන් මේ ආණ්ඩුව පිළිබඳ ජනතා ප්‍රසාදය නැති කරන්නයි. ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය අබ මල් රේණුවකින් අපි පළුදු කරන්නේ නෑ. ඒ නිසා විපක්ෂයේ බොරු වලට රැවටෙන්න එපා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සූජීව සම්පත් යන මහත්වරුන්ද මෙහිදී කථා කලහ.”

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.