Header Ads

Breaking News
recent

මෙහෙකාර දැරියට මුල් මසට ලක්‍ෂයක් දීලා.. බදියුදීන් හා මස්සිනාද නිවසේ ඉදලා..

බරපතළ ලෙස පිලිස්සී මියගිය දහසය හැවිරිදි දැරිය මෙහෙකාර සේවයේ යොදවා සිටි කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ද එම නිවසේ පදිංචිව සිට ඇති බව පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉෂාලිනි ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි දැරිය බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී රිෂාඩ් බදියුදීන් 2020 දෙසැම්බර් 11 වැනිදා සිට 2021 අප්‍රේල් 24 දක්වා මාස 04කට අධික කාලයක් එම නිවසේ ඉහළ මාලයේ පදිංචිව සිට ඇති බව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

2004 නොවැම්බර 12 වැනිදා උපත ලබා ඇති ඉෂාලිනි දැරිය තැරැව්කරුවකු මාර්ගයෙන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේ 2020 නොවැම්බර් 18 වැනිදා බව වාර්තා වෙයි. දැරිය මෙහෙකාර සේවයට යොදවා ගන්නා අවස්ථාවේ දී රිෂාඩ් බදියුදීන් පොලිස් අත්අඩංගුවේ පසු වුවත් ඔහු ඇප මත නිදහස්ව 2020 දෙසැම්බර් 11 වැනිදා නිවසට පැමිණ තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් 2021 අප්‍රේල් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා තුරු මෙහෙකාර දැරිය සිටි නිවසේ පදිංචිව සිට තිබේ.

මියගිය දැරියගේ මව වන රාජමානික්කම් රංජනීගෙන් බොරැල්ල පොලිසිය ලබා ගත් ප්‍රකාශයේ, දැරිය මෙහෙකාර සේවයට පැමිණි දිනයක් නිශ්චිතව සඳහන් කර නොමැති අතර, පසුව ඇය සඳහන් කර ඇත්තේ දැරිය 2020 නොවැම්බර් මාසයේ දී මෙහෙකාර සේවයට ගොස් ඇති බවයි.

ඉෂාලිනි කොළඹ ගොස් සතියකින් රුපියල් 40000ක්ද, මසකට පසුව රුපියල් 60000ක්ද දැරිය රැගෙන ගිය සංකර් හරහා මට එවා තිබුණා. පසුව 2021 පෙබරවාරි මාසයේ දී රුපියල් 40000ක්ද, අප්‍රේල් මාසයේ දී රුපියල් 60000ක්ද සංකර්ගේ ගිණුම් හරහා ලැබී මට ලබා දුන්නා’’ යැයි දැරියගේ මව පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණි.

මේ අතර රිෂාඩ් බදියුදීන් සිටි නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ නිරතව සිටි 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

‘‘පිලිස්සී මියගිය දැරිය රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණීමට පෙර, එම නිවසේ 2015 වසරේ සිට 2016 දක්වා සේවය කළ තරුණියක්, බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා අතින් දෙවරක් දූෂණයට ලක් වී තිබෙන බව එම තරුණියගේ ප්‍රකාශ අනුව හෙළිදරව් වුණා.’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනාද ඉෂාලිනි ජූඩ් කුමාර් දැරිය එම නිවසේ සිටි කාලයේ සිට ඇති බව වාර්තාවේ.

පිලිස්සී මියගිය දැරිය බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ආ තැරැව්කරු විසින්ම, එලෙස දූෂණයට ලක් වූ තරුණිය ද රැගෙන විත් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය වන 46 හැවිරිදි ශෙයාබ්දීන් අයේෂා, ඇගේ පියා වන මොහොමඩ් ශෙයාබ්දීන් සහ දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරැව්කරු වන පොන්නයියා සංකර් නමැත්තා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරනු ලබයි.

දැරිය පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා භාර දීමේ දී ඇයගේ වයස 18ක් ලෙස සඳහන් කරමින් එය වෛද්‍ය වාර්තා වෙත ඇතුළත් කිරීමේ සිද්ධියක් පිළිබඳවද බොරැල්ල පොලිසිය පරීක්ෂණයක් පවත්වයි.

දැරිය මිය යාමේ සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් දීමට නීතිපති සංජය රාජරත්නම් විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ නීතිඥ මණ්ඩලයක් පත් කර තිබෙන අතර එහි මූලික වාර්තාවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත හෙට (26 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

– aruna

No comments:

Powered by Blogger.