Header Ads

Breaking News
recent

හඬපට බොරුවක් - දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි - දිල්රුක්ෂිල නිශ්ශංක ගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි - ගාල්ලේ හිටපු ඇමැති කොට උඩ

හඬපට බොරුවක් - දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි

ඇවන්ගාඩ් හිමිකරු මේජර් නිශ්ශංක සේනාධිපති විසින් විකෘති කර බෙදා හරින ලද හඬ පට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අපකීර්තියට වන්දි
වශයෙන් රුපියල් බිලියන 02ක මුදලක් වහාම ගෙවිය යුතු බව පවසමින් හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් සේනාධිපති වෙත එන්තර්වාසියක්ද යොමුකර ඇත.

එය ගෙවීමට අපොහොසත් වුවහොත් වන්දි ඉල්ලා නඩු පවරණ බවද ඇය පවසයි.

නිශ්ශංක සේනාධිපති විසින් සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල ප්‍රචාරය කළ දුරකථන සංවාදයක හඩපටයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් එලෙස වැඩ තහනමට ලක් කිරීම වැරදි බවත් ඇය වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් නියෝග කර තිබේ.

තමන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක යෙදී සිටියදී නිස්සංක සේනාධිපති හිටපු ඇමතිවරයාගේ දුරකථනයට ඇමතුමක් ලබා ලබාගෙන, නිශ්ශංක සේනාධිපති තමා සමඟ කතා කිරීමට කැමති බව පවසා හිටපු ඇමතිවරයා මගින් දුරකථනය ලබා දුන් බවට දිල්රුක්ෂි ඩයස් කර ඇති ප්‍රකාශය පරිපාලන අභියාචනා විනිශ්චය සභාවේ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්තාවක් ඇතුළුව ප්‍රවීණ වාර්තා තුනක් සනාථ කර ඇත්තේ මෙම පටිගත කිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර එය මූලික වශයෙන් විකෘති කර ඇති බවයි.

මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක, දිල්රුක්ෂි ඩයස්ට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා ඇත්තේ මෙම හඬ පට පටිගත කිරීම ස්ථාන 10කදී සංස්කරණයට ලක් කර ඇති බවයි.

තමන් එම හඬපටය සංස්කරණය කළ බවට මූලික විමර්ශනයේදී නිස්සංක සේනාධිපති විසින් පිළිගෙන තිබේ.

සංස්කරණය නොකළ හඩ පටය ලබාදීමට නිස්සංක සේනාධිපතිට නියෝග කර ඇතත් එය ලබාදීමට ඔහු අපොහොසත් වී ඇතැයි මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇතත් සේනාධිපති පවසන්නේ, අදාල සංස්කරණය නොකළ හඩ පටය තමා විසින් අදාල බලධාරීන්ට ලබාදී ඇති බවයි.

මූලික විමර්ශනයේදී විශේෂඥයින් විසින් වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශය සටහන් කර නොතිබීම සහ ඔහුගේ දුරකථනය පරීක්‍ෂා කර නොතිබීම සම්බන්ධයෙන්ද පරිපාලන අභියාචනා විනිශ්චය සභාව සිය අවධානය යොමුකර තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ දී ඇවන්ගාඩ් ව්‍යාපාරික මේජර් නිශ්ශංක සේනාධිපති විසින්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ දුරකතන සංවාදය ද අඩංගු ප්‍රකාශයක් 2019 සැප්තැම්බරයේ දී සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍යයට මුදාහරිනු ලැබිණි.

රෝගී තත්ත්ව හේතුවෙන් තමන් මේවන විට සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බව එහි පවසන නිශ්ශංක සේනාධිපති, තමන්ට අල්ලස් කොමිසම නඩු පැවරුවේ දේශපාලන හේතුන් මත බව අවදාරණය කර තිබිණ.


නිශ්ශංක සේනාධිපති නිකුත්කළ හඬ පටයේ සඳහන් කරුණු.


නිශ්ශංක සේනාධිපති - "ඇත්තටම මැඩම් මේකේ 4000 කගේ විතර රස්සාවල් නැතිවෙලා. ඒ මිනුස්සුන්ට යන්න එන්න නැතිවෙලා.."


දිල්රුක්ෂි ඩයස් - "මම දන්නවා, මම දන්නවා. මම හිතුවේ නැහැ ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද මේක රටේ තිබුණු හොඳ ව්‍යාපාරයක්. මට නිකමට හරි හිතුන නම් මේ වගේ දෙයක් සිද්ධවෙයි කියලා, ඔයා පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ".

නිශ්ශංක සේනාධිපති - "මට මැඩම් පණිවිඩ දෙකකුත් එව්වා. මට ඒවා හම්බවුනා."

දිල්රුක්ෂි ඩයස් - "මොක ද මම ජිවිතේට හිතුව නම් මේකෙන් බිස්නස් වැටෙයි කියලා මම ජීවිතේට මේ නඩුව දාන්නේ නැහැ. මේ කරුමක්කාර දේශපාලනය හන්දා.... (පැහැදිලි නොමැත). මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන 7500කට වැඩිය ලියුම් කියවලා තියෙනවා. ඒක හන්ද මම දන්නවා ඔයාගේ නිලධාරීන් නැව්වල ඉන්නකොට එයාලගේ පවුල් බලාගත්තේ කොහොම ද කියලා."

දිල්රුක්ෂි ඩයස් - "මම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ නැහැ. මම ඒ කරපු මුළු මේවා එක ගැන ම දුක්වෙනවා. මම දන්නවා කොහොම ද නීතිය කඩන්නේ කියලත්, නීතිය හදන්නේ කියලත්. ඒ දෙක ම"

සංවාදය විකෘති කළ බවට චෝදනා :

අදාළ හඬ පටයේ ඇත්තේ තමන්ගේ හඬ බව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් තනතුර දැරූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බැහැර නොකළාය.

ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එල්ල කර තිබුණේ තමන් සමග කළ සංවාදය විකෘති

කළ බවට චෝදනාවකි.

මෙම හඬ පටය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සහාවෙන් ඉල්ලීමක් කෙරිණි.

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි ඇයට චෝදනා එල්ලවිය.

ඇය සොලිස්ටර් ජනරාල්වරිය ලෙස මෙතෙක් කළ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් වරයෙක්ද පත්කරනු ලැබිය.

මෙම සිදුවීමෙන් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් හා එම පවුලට සම්බන්ධ අයගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම් කරන බව යළිත් තහවුරු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකල මාධ්‍යවෙත ප්‍රකාශ කර තිබිණ. එම පෙරමුණ වැඩිදුරටත් කියා සිටියේ, ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩු හුදෙක්ම පළිගැනීමේ චේතනාවෙන් කළ දේවල් යැයි ඔප්පු වන බවය.

හඬපටයෙන් මෛත්‍රී - රනිල් සීතල ගැටුම කරලියට !

මෙම හඬ පටය හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර වාග් සංග්‍රාමයක් මතු කිරීම දක්වා ද වර්ධනය විණි.
 
"මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත්‍රීවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ." යැයි උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකල පැවසීය.
 
මාස කිහිපයකට පෙර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා අගමැතිවරයා තමන්ට ලිපියක් එවූ බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
 
"දාපු නඩු තනිකරම දේශපාලන පලිගැනීම් නඩු. උදේ ඉඳලා හවස 4 වෙනකම් අල්ලස් හෝ දූෂණ කොමිසමේ රාජකාරී කරන දිල්රුක්ෂි ඩයස් මහත්මිය සවස 6 පසු අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ රාජකාරි කරනවා. එහෙම තමා වැඩ කෙරුවේ. ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුදුසු නෑ කියලා. වික්‍රමසිංහ මහත්මියට මම කියනවා ඔය හඬපටයේ කියන මේ ජරා දේශපාලනඥයෝ තමයි මට බල කරන්නේ, උපදෙස් දෙන්නේ කියන කතාවේ දී කරුණාකරලා වික්‍රමසිංහ මැතිනිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබට උපදෙස් දුන්න දේශපාලනඥයන් කවුද කියලා පුළුවන්නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මහත්මියට කියනවා." යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.


රනිල් ගේ ප්‍රතිචාරය :

ජනාධිපතිවරයා කළ මේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා නොසිටි බව කියා සිටියේය.

"දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි"

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කිසිදිනක අරලියගහ මන්දිරයේ සේවයේ නොකළ බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ඒ සදහා බලපෑම් කල දේශපාලකයා ගල්ලේ හිටපු ඇමති කෙනෙකු බවට මේ දිනවල සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතියි

No comments:

Powered by Blogger.