Header Ads

Breaking News
recent

කොච්චිකඩේ බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස්! නීතිපති උපදෙස් දෙයි!

පාස්කු ප්‍රහාර මාලාවට අයත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී බෝම්බ පුපුරවාගෙන මිය ගිය අලව්දීන් අහමඩ් මුවාද් නමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (අගෝස්තු 6) නියෝග කළේය.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදහස් කිරීමට නියම කළේය.

මෙලෙස නිදහස් කරනු ලැබුවේ, අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැත්තෙකි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.

ඒ අනුව, සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබිණි.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු නිදහස් කිරීමට නියම කළේය.

අලව්දීන් අහමඩ් මුවාද් නමැත්තා 2019 අප්‍රෙල් මස 21 වන දින පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් අනතුරුව ඔහුගේ පියා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස සියලු චෝදනාවලින් නිදහස් විය.


No comments:

Powered by Blogger.