Header Ads

Breaking News
recent

ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පැදවූ කැබ්රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හුවමාරුවේදී නවතා ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු වහාම ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට මුහුණ පා සිටින ස්ථාන මාරුව ලබා ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස්පති ලබාදුන් ස්ථාන මාරුව අනුව ඔහු මාතර කොට්ඨාසය වෙත මාරු කර ඇත.

මෙම අතිරේක ​ලේකම්වරයා පවුලේ අය සමගින් අපරැක්ක හුවමාරුවෙන් අතුරුගිරිය බලා ගමන් කිරීමට යාමේදී පොලිස් කොස්තාපල්වරයා එම වාහනය පරීක්ෂා කිරීමට නවතා ඇත.

එහිදී රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවැනියා බවත් කවදාවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වාහනයක් නවත්වා නැති බවත් කියමින් එම පුද්ගලයා කොස්තාපල්වරයාට දැඩි ස්වරයෙන් කතාකර ඇත. ඒ අවස්ථාවේ වාහනයේ සිටි කාන්තාවක්ද රියැදුරු බලපත්‍රය ඉල්ලුවේ යැයි කියමින් කොස්තාපල්වරයාට බැණ වැදී තිබේ.

අමාත්‍යාංශ පුවරු ප්‍රදර්ශනය කර විවිධ වාහන යන බැවින් තමාට ලබාදී ඇති උපදෙස් මත වාහනය නවතා රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම කළ බවත්, වාහනයේ ඉදිරිපස ආරක්ෂිත පටි හා මුව ආවරණ පැළඳගෙන යන ලෙසත් කොස්තාපල්වරයා එහිදී දැනුම්දී තිබේ.

එම අවස්ථාවේදීම පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා තමා අපහසුතාවට පත්වූ බව කියමින් අතිරේක ලේකම්වරයා හැසිරුණු ආකාරය ගැන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය වෙත මේ වන විට මුදාහැර ඇත. එම සිද්ධියෙන් පසු මෙම කොස්තාපල්වරයාට වහාම එම ස්ථානයෙන් මාරු කර යවා ඇත්තේ පොලිස්පති වෙනුවට මානව සම්පත් කළමනාකරණ නියෝජ්‍ය පොලිස්පතිගේ අත්සනින් යැවූ නිවේදනයකි.

ඊයේ (3 වැනිදා) මෙම සිද්ධිය අනාවරණය වීමත් සමග වහාම මෙම ස්ථාන මාරුව නවත්වන ලෙසට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් විරසේකර පොලිස් මූලස්ථානයට දන්වා ඇත.

– aruna


No comments:

Powered by Blogger.