Header Ads

Breaking News
recent

ජාවාරම්කරුවන්ගේ බලපෑමට මාව කතරගමට මාරු කළා... තෙලිකඩ OIC පොලිසියටම එරෙහිව උසාවි යයි!

ගිං ගඟේ සහ වනාන්තරයේ නීති විරෝධී කටයුතුවල යෙදී සිටි ජාවාරම්කරුවන්ගේ නියෝග මත අසාධාරණ ලෙස තමන් තංගල්ල පොලිස් කොට්ඨාසයට මාරු කර ඇති බව සදහන් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

දැනට කතරගම පොලිසියට අනුයුක්තව සිටින ප්‍රධාන පරීක්ෂක කේ.එම්.එල්. ජනක ප්‍රියා මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මහජන ආරක්‍ෂක ඇමති සරත් වීරසේකර, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ තවත් කිහිප දෙනෙක් වගඋත්තරකරුවෝ කරමින් මෙම පෙස්සම ගොනු කර ඇත.

පෙත්සම්කරු චෝදනා කළේ සේවා අවශ්‍යතා මත කියමින් තමන් තෙලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරෙන් තංගල්ල පොලිස් කොට්ඨාශයට මාරු කර යවා ඇති නමුත් ඔහුට ස්ථාන මාරුවීමට සැබෑ හේතුව සේවා හිඟකම මත නොව ගිං ගඟේ නීති විරෝධී වැලි ගොඩ දැමීම, තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයේ වනාන්තර තුළ අනවසරයෙන් කැපීම සහ වෙනත් අපරාධ සිදු කිරීම හේතුවෙන් අගතියට පත් පැමිණිලිකරුවන්ගේ (අපරාධකරුවන්ගේ) නියෝග මත මෙම මාරු කිරීම සිදු කොට ඇති බවත්ය.

පෙත්සම්කරු කියා සිටියේ 1993 මාර්තු 3 වන දින තමන් රක්ෂිත උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර ඉතා සංකීර්ණ අපරාධ සහ බොහෝ භයානක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට සම්බන්ධ වූ බවකි.

පෙත්සම්කරු පවසන්නේ ඔහු තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී ගිං ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම, ප්‍රදේශයේ නීති විරෝධී ලෙස දැව කැපීම, හෙරොයින් ජාවාරම සහ වෙනත් අපරාධ රැසකට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ඔහු යටතේ සිටි නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවකි.

පෙත්සම්කරු කියා සිටියේ නීති විරෝධී වැලි ගොඩ දැමීම සහ දැව ජාවාරම සිදු කළ අයට ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ සහයෝගය සහ ආවරණය ඇති බව තමා පසුව දැනගත් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මඟින් තමාට සහතික වූ නීතියට සමාන වීමේ හා සමාන ලෙස ආරක්ෂා කිරීමේ මූලික අයිතිවාසිකම පොලිස්පතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.


No comments:

Powered by Blogger.