Header Ads

Breaking News
recent

‘ඉන්නත් බෑ... යන්නත් බෑ... මුහුදට පනින්න වෙන්නේ’ – ලාංකිකයන්ට රටවල් 190 කට වීසා නැතිව යන්න බෑ!

රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටහන විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගරු කතානායකතුමා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ගරු කතානායකතුමනි,

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයේ ශ්‍රේණිය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම

ගුවන් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට හිමිව ඇත්තේ ඉතාම පහළ ස්ථානයකි. සෑම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමකම පාහේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ ඉතාම පහළ තැනකය. ආසියාතික රටක් වන ජපානයට ලොව රටවල් 190 කට පමණ වීසා රහිතව යා හැකිව ඇති නමුත් ආසියාතික රටක්ම වන අපට රටවල් 190 කට පමණ වීසා නොමැතිව යා නොහැකිව ඇත.

මෙම කාරණය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මෙරට දේශපාලන අධිකාරිය වගකිව යුතුව ඇති බව මම දැඩිව අවධාරණය කරමි. නිදහස ලබාගත් දා සිට මේ දක්වා බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නැත. ඊට හේතුව ලෙස මා දකින්නේ බලවතුන් සියලු දෙනාම පාහේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය භාවිත කොට සිය ගමන් බිමන් සහ අවශ්‍යතා ඉටුකර ගැනීමයි.

ගරු කතානායකතුමනි, මෙවැනි තත්ත්වයක් තුළ කුසලතා පිරි ලාංකිකයන් දැඩි ලෙස අසහනයට පත් වීම නොවැළැක්විය හැකි කාරණයක් බවට පත්ව ඇත. “ඉන්නත් බෑ. යන්නත් බෑ. මුහුදට තමයි පනින්න වෙන්නෙ” කියන තැනට මේ වන විට ජනතාව පත්ව සිටිති.

විදේශ ඇමතිවරයාට වඩා කතානායකවරයා ලෙස මෙම කාරණයේදී ඔබට විශාල කාර්භාරයක් මේ සම්බන්ධයෙන් කළ හැකිව ඇති බව මාගේ පෞද්ගලික වැටහීමයි. සාමාන්‍යයෙන් කතානායකවරයෙකුගේ ඉල්ලීමක් කෙරෙහි  සෑම රටක්ම පාහේ නිසි සහ දැඩි අවධානයක් යොමු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරුන්ට රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවට ආරාධනා කොට, ශ්‍රී ලාංකිකයන්ට  වීසා රහිතව ගමන් කිරීමට සහ රැකියා කිරීමට අවස්ථාව ලබා ගැනීම පිළිබඳව ඔවුන් සියලු දෙනාගෙන්ම විවෘත ඉල්ලීමක් වාචිකව මෙන්ම ලිඛිතව කිරීමේ හැකියාව ඔබට ඇත. එබැවින්, රටේ ජනතාව වෙනුවෙන් එම කාර්යය ඉටුකිරීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන ලෙස සිවිල් ක්‍රියාකාරිකයකු ලෙස මෙයින් ඉතාම කාරුණිකව මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

විශේෂයෙන්ම යුරොපා රටවලට වීසා රහිතව යාමට ඒමට සහ රැකියාවල නියුක්ත වීමට අවස්ථාව නොලැබීම පිළිබඳව මෙරට ජනතාව දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින බව ද මෙහිලා සිහිපත් කිරීමට කැමැත්තෙමි.

සරත් කලුගමගේ
සංවිධායක
රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටහන


No comments:

Powered by Blogger.