Header Ads

Breaking News
recent

බුද්ධික කියපු වංචාව ඇමැති විජයදාස පිළිගනී! රටට පාඩුව අවුරුද්දකට බිලියන 60යි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් බ්ලැක්ලිස්ට් වෙච්ච සමාගමකට!

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අහිමි වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. 
2023 වසර සඳහා වන අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ 2017 වසරේ ආරක්ෂක ස්ටිකර් විශේෂාංගය හඳුන්වාදීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් බිලියන 40ක බදු ආදායමක් අහිමි වූ බවයි.

වෙළෙඳපොළට ඇතුළු වන ව්‍යාජ නිෂ්පාදන හඳුනාගැනීම් සඳහා මෙම ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හඳුන්වා දුන්න ද එය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේ සිටම දූෂණ වංචාවලින් පිරී ඉතිරී ගොස් තිබූ බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

ඒ හරහා මෙම වැඩපිළිවෙළ අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන ජාවාරමක් හේතුවෙන් මේ වන විට රජයට රුපියල් බිලියන 60ක පාඩුවක් සිදුවී ඇති බව පෙන්වා දෙන අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ස්ටිකර මුද්‍රණය කිරීම සඳහා අදාල ටෙන්ඩරය ලබාදුන් මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් කුප්‍රකට සමාගම ලෝකයේ රටවල් තුනක අසාදු ලේඛන ගතකළ සමාගමක් බවයි.

අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම ටෙන්ඩරය අසාදු ලේඛනගත සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

ආරක්‍ෂක ස්ටිකර් ජාවාරමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පතිරණ කියා සිටියේ පෞද්ගලික අංශයේ ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් ප්‍රධාන වශයෙන් රසායනිකව වැඩි දියුණු කරන ලද රාවලින් සිදුකරන නිෂ්පාදනවලට මෙම ව්‍යාජ ස්ටිකර් යොදන බවයි.

එමෙන්ම මෙම කුප්‍රකට සමාගමට ලබාදී ඇති කොන්ත්‍රාත් කාලය නුදුරේදීම අවසන් වීමට නියමිත නමුත් සුරාබදු නිලධාරීන් එම ටෙන්ඩරය නැවතත් එම සමාගමටම ලබා දී මෙම දූෂණය ඉදිරියටත් අඛණ්ඩව කරගෙන යෑමට දැඩි උත්සාහයක යෙදෙන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

hirunews


No comments:

Powered by Blogger.