Header Ads

Breaking News
recent

හරක් කටායි කුඩු සලිඳුයි කුඩු ටොන් 5ක් ලංකාවට පටවලා! CIDය ෆෝන් 10කින් තොරතුරු රැසක් හොයාගනී!

මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන් ම මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක්කටා හෙවත් මිදිගම නඳුන් චින්තක සහ කුඩු සලිඳු හෙවත් පානදුරේ සලිඳු මල්ෂිත ගුණරත්න දෙදෙනා විදේශගතව සිටියදී මත්කුඩු කිලෝ 5,000කට (ටොන් 5) වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී අනාවරණය කර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන් දෙදෙනාට අයත් ජංගම දුරකතන 10ක් පිළිබඳ කළ තාක්ෂණ විශ්ලේෂණයේදී රහස් පොලිස් නිලධාරීන් ඒ බව හෙළි කර ගෙන තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසුවේ, දුරකතන දත්ත හරහා කළ විශ්ලේෂණයේදී මොවුන් මෙරටට එවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 5,000කට වැඩි මිසක් අඩු නොවන බව ය.
 
මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොග විශාල වශයෙන් ම මෙරටට එවා ඇත්තේ, දකුණු මුහුදු තීරය ඔස්සේ බව ද රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
 
මත්ද්‍රව්‍ය මෙරටට එවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තවත් මාස තුනක කාලයක් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි කියති.
 
ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපි ගොනුවක් ද යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක්කටා සහ කුඩු සලිඳු විසින් මෙහෙයවන ලද මිනිස් ඝාතන සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වන අතර ඉදිරියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගෙන ඔවුන් විසින් කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශන ආරම්භ කරන බව ද වාර්තා වේ.


මත්ද්‍රව්‍ය කිලෝ 5,000ක් මෙරටට එවූ ආකාරය, මෙරටදී ඊට සම්බන්ධ වූ පුද්ලයන්, එම මත්ද්‍රව්‍ය එවූ සහ බෙදාහරින ලද බෝට්ටු සහ වාහන ඇතුළු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමග පැවැත්වූ සබඳකම් ද මේ අනුව මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද කිය යි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මහ පරිමාණයෙන් කරමින් සිටි හරක් (කටා) කුඩු සලිඳු මැඩගස්කරයේදී එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඉකුත් මාර්තු මස 15 වන දා මෙරට රැගෙන විත් දින 90ක කාලයක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිති.
 
මොවුන් එලෙස අත්අඩංගුවට පත්වූයේ ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර ශාඛාව මීට වසර කිහිපයකට පෙර ලබා දී තිබූ ජාත්‍යන්තර රතු නිවේදනයකට අනුව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු මොවුන් සම්බන්ධයෙන් විමර්ශන කරති. -කීර්ති මෙන්ඩිස්


No comments:

Powered by Blogger.