Header Ads

Breaking News
recent

හර්ෂට එල්ල වන “තර්ජන” ගැන හොයන්න ඇමති ටිරාන්ගෙන් පොලිස්පතිට නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වන බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝග කර තිබේ.

ඊය් (ජූනි 7) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ, තම ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ද භාර ගත යුතු බව ය.

“පාරේ යන කොට මරලා දැම්මොත් මාව, ගරු කතානායකතුමා, මම ඔබ තුමාට දැඩිව ම කියනවා, මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියෙනවා,” මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, තමා මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මැද බව ය.

තමාට කාර්යාලයක් නොමැති බව ත්, සේවය කිරීම සඳහා ඇත්තේ තිදෙනෙකු පමණක් බව ත් පැවසූ ඔහු සඳහන් කළේ, තමා ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් පවා ගෙවන බව ය.

ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගට ම කතා කළ බව ත් තමා ප්‍රශ්න රැසකට මැදි වූ බව ත් ඔහු පැවසීය.

ගුවන්තොටුපොළේ වීසා ගැටලුව යට ගැසීමට තමා උත්සහ ගන්නා බවට පුවත් පළ වූ බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ ය.

ඔහු එම අවස්ථාවේදී ප්‍රශ්න කළේ, “කාගේ උවමනාවට ද මේක මගේ පැත්තට හරවන්න හදන්නේ?” යනුවෙනි.

No comments:

Powered by Blogger.