Header Ads

Breaking News
recent

ෂෙහාන් කොළඹ මාධ්‍ය හමුවක.. පොහොට්ටු ලොක්කන් ගස් යන හෙලිදරවුවක්!

‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද කියා සිටියේය.

“ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව තීන්දුවක් ගෙන තිබෙනවා  . පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ගත් තීරණයක්.  මේ රටේ අනාගතයේදී 2022 දී ඇති වූ ආර්ථික අර්බුදයට හා කලහාකාරී තත්ත්වයට ගමන් කරනවාද? නැත්තම් මේ වසර දෙක තුළ ඇති කර ගත්තා වූ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යනවාද කියලා තීන්දු කරන මැතිවරණයක් මේක.

මේ මැතිවරණයේදී සියළු දේශපාලන පක්ෂ වගකීමෙන් කටයුතු කළ යුතුයි. සියළු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්න සුදානම් කියලා අපිට පේන්න තියෙනවා. වසර දෙකකට පෙර තිබුණ තත්ත්වය දෙස බලද්දි අද තත්ත්වය විශාල සංවර්ධනයක් වෙලා තිබෙනවා. නමුත් අපිට මෙතැනින් නතර වෙන්න බෑ. ඉතිහාසය දෙස බලද්දි මේ රට ආර්ථික කඩා වැටීම් වලට ලක්ව තිබුණ නමුත් මේ වගේ කඩා වැටීමකට ලක් වෙලා නෑ. ස්ථාවරත්වය ගන්න හදපු සෑම අවසථාවකදීම විවිධ අයගේ විවිධ බලපෑම් මත අස්ථාවරත්වය පත්වන තීන්දු වෙත ගමන් කර තිබෙනවා. එවැනි තත්ත්වයට පොදුජන පෙරමුණ පත්වීම ඉතා කණගාටුදායකයි. රටේ ස්ථාවරත්වයට සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලොකු වගකීමක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙනවා. පොදුජන පෙරමුණේ සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අද අපේ රට අර්බුදයකට ගියේ. ඒ අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් ය⁣ටතේ ඇති වූ අර්බුදයක්. ඒ වෙලාවේ වගකීම භාර ගන්න පුළුවන් සුදුසම කෙනා විදියට පත් වුනේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අර්බුදයට රට ගමන් කරද්දි හොඳ වෙච්ච රනිල් වික්‍රමසිංහ 2024 මැතිවරණයට පොදුජන පෙරමුණට හොඳ නැති වුනේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.


මේ රටේ ආර්ථිකය ගෙඩ නැගීමත් එක්ක පොදුජන පෙරමුණේ සීමිත පිරිසකට බල කෑදරකමක් ඇතිවුණා. රට දැඩි අනාරක්ෂිත අවස්ථාවක කවුරුත් නොමැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තා.

පොදුජන පෙරමුණ නිර්මාණය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා. පොදුජන පෙරමුණ කියන මල්මාලාව හදද්දි ඒ සඳහා අපි සියළු දෙනා මල් ඇමිණුවා. මේ තීන්දුව ගත්ත කීප දෙනා හදපු පක්ෂයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂය ගත් මේ වැරැදි  තීන්දුව නිවැරැදි කරයි කියලා මම විශ්වාස කරනවා.

අපි කණ්ඩායම මේ තීන්දුව ගත්තේ මේ රටේ අනාගත අවධානම පිළිබඳව අවධානය යොමු කරලයි. ඒ සඳහා සුදුසුම නායකයා තෝර ගන්න නැවත කඩා නොවැටෙන රටක් ස්ථාපිත කරන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසයි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්නේ. පොදුජන පෙරමුණේ හැටියට දැනට පාර්ලිමේන්තුවේ සිටින අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ඵල කරනවා. මේ රට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් දක්ෂතාවය හැකියාව තිබෙන නායකයෙක් එක්ක ඉදිරියට ගෙනයාම තමයි අපි සියළු දෙනාගේ අරමුණ. අපිට නැවත අර්බුදයකට යන්න බෑ.


මීට මාස කිහිපයකට පෙර මා අනුරාධපුරය රැස්වීමකදී සාගර කාරියවසම් මහලේකම් තුමාට කිව්වා පක්ෂයේ අනාගතය තීන්දුවන්නේ පාක්ෂිකයාගේ අදහස් මතයි කියලා. ප්‍රජාත්නත්‍රවාදීව පාක්ෂිකයාට ඇහුම්කන් දෙනවාද යන්න තීරණය මතයි. පාක්ෂිකයාගේ බලාපොරොත්තුව සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි.

2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණා. රට පිළිබඳව බලාපොරොත්තුවක් නැතිවුණා. මේ චක්‍රය නැවත ක්‍රියාත්මක කරන්නද පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේ. තමන්ගේ ප්‍රාදේශීය නායකයින් අනාරක්ෂිත කරලා අපේ අපේ පාක්ෂිකයා අනාරක්ෂිත කිරීමේ වැඩපිළිවලකට තමයි පොදුජන පෙරමුණේ මේ සීමිති පිරිස කටයුතු කරන්නේ. පාක්ෂිකයාගේ මතයට ඇහුම්කන් දෙන්න සුදානම් වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කරනවා. නැතිනම් ඔබට ඉතිරි වන්නේ තීන්දුව ගන්න කටයුතු කළ කීප දෙනා පමණයි. තමන්ට අවශ්‍ය අයට පමණක් ඇහුම්කන් දී තීන්දු ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්.

මේ රට ස්ථාවරයි අද. මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම මේ රට අස්ථාවර කිරීමට හේතුවක් වෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන ස්ථාවරත්වය මේ රට ගොඩනැගිලා තිබෙනවා. නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් පරිසරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්මාණය කර තිබෙනවා. අපි සියළු දෙනා මේ තීන්දුව ගන්නේ හෘද සාක්කියට එකඟවයි.

ඉතිහාසයේ යම් යම් කණ්ඩායම් තීන්දු ගන්නා විට ඒ තීන්දු වෙනස් කරන්න අපිට පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ තීන්දු වෙනස් කිරීමට නොහැකි වූ අවස්ථාවේ රටට වූ ඉරණම සියළු දෙනා දුටුවා. අපි අලුත් ආර්ථිකයක් අලුත් රටක් හැදුවේ පෙර වැරැදි නැවත සිදු නොවන රටක් බවට පත් කිරීමටයි.

ආර්ථිකය පළමු කාර්තුවේ සියයට පහයි දශම එකක වර්ධනයකට ගෙනල්ලා තිබෙනවා. එතැනින් එහාට ආර්ථිකය පුළුල් කරලා සෑම කෙනෙකුටම තමන්ට කැමැති ආකාරයටකට ආර්ථික ශක්තියක් නිර්මාණය කරන්න කටයුතු කරනවා.” යනුවෙන්ද පැවසීය.

No comments:

Powered by Blogger.