Header Ads

Breaking News
recent

බන්දුලට රුපියල් මිලියන 150ක් ලොස්ට් වෙයි... ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

නොයෙකුත් බලපෑම් මත අනීතික ආකාරයෙන් කටයුතු කරමින්, “මග නැගුම” ආයතනය විසින් “2k” නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ අමතර රුපියල් මිලියන 150ක මුදලක් ගෙවීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කරන ලද්දේ, අදාළ මුදල් නොගෙවීම පදනම් කරගෙන මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීම සඳහා හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ මඟනැගුම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ එම නියෝගය ඊලඟ නඩු දිනය තෙක් බලපැවැත්වෙයි.

හිටපු මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ මඟ නැගුම ආයතනය ක්‍රියාත්මක වන බවත් එම ආයතනය විසින් “2ණ” නමැති ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව තිබූ මුදල් ගෙවා අවසන් කර තිබූ බවත් එසේ ගෙවීම් අවසන් කර තිබියදී අදාළ ඉදිකිරීම් සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස හිටපු විෂය භාර  අමාත්‍යවරයා සහ එවක අමාත්‍යංශයේ ලේකම්වරයා  විසින් මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම බලපෑම් සිදු කළ බවත් ඒ පිළිබඳව “මඟ නැගුම” අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළ බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේවෙතත් එම දැනුම්දීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයද අදාළ ගෙවීම සිදු නොකිරීමට තීරණය කර තිබූ බව පෙත්සමේ සඳහන් වෙයි.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම මුදල නොගෙවීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ධූරයෙන් ඉවත් කර පසුව වැඩ බලන සභාපති ධුරයට පත් කරන ලද හිටපු ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂක මණ්ඩලයද විසුරුවා හැරීමට තීරණය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.


No comments:

Powered by Blogger.