Header Ads

Breaking News
recent

සුනාමි ඛේදවාචකය සිදු වී අදට වසර 15ක් - නිහඬතාවයට එක් වන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක්

මීට වසර 15 කට පෙර ඇති වූ සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද (26) විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

සුනාමිය ශී‍්‍ර ලංකාවට කඩා වැදුණේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදායි. මෙම ව්‍යසනයේදී පුද්ගලයින් 30,000 කට වැඩි පිරිසක් මියගියා. තවත් 5,000 කට වැඩි පිරිසක් අතුරුදන් වූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මෙම ව්‍යසනය සිහි කිරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සුරක්‍ෂිතතා දිනය ලෙස නම් කිරීමටද ශී‍්‍ර ලංකාව පසුව තීරණය කළා.

අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක කාලයක් ජාතික නිහඬතාවක් ප‍්‍රකාශ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. සුනාමියෙන් මියගිය හා තුවාල ලැබුවන් සිහි කරමින් ඊට එක්වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියළු ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කිරීම සඳහා රටපුරා අද සංවිධාන කර ඇති සෙසු වැඩසටහන් පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

එහිදී ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ දිස්ත්‍රික් 25ම සම්බන්ධ කරගනිමින් සුනාමි අනුස්මරණ වැඩසටහන පවත්වන්නට කටයුතු සූදානම් කර ඇති බවයි.

තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් සුනාමි අනුස්මරණ වැඩසටහන පැවැත්වෙනවා.

2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කර ගනිමින් එවැනි ව්‍යසනයක් යළි ඇති නොවීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇතැයිද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවා. සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ස්ථාපිත කෙරුණේද ඒ අනුව බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


No comments:

Powered by Blogger.