Header Ads

Breaking News
recent

හිටපු ක්‍රීඩකයන්ගේ ඉල්ලීමට අනුව බන්දුලගේ හෝමාගම ක්‍රීඩාංගනය ඉදිකිරීම අගමැති අත්හිටුවයි

පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඉන්පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ අතර බොහෝ දෙනා ප්‍රකාශ කළේ මේ මොහොතේ රටට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක අවශ්‍යතාවයක් නොමැති බවයි.

විශේෂයෙන් මහේල ජයවර්ධන ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙම ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනයට ලක්කළ අතර මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ රට තුළ ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගන ප්‍රමාණවත් පරිදි තිබෙන බවයි. තිබෙන ක්‍රීඩාංගන සඳහා ප්‍රමාණවත් ජාත්‍යන්තර හා පළමු පෙළ තරග පවා නොමැතිව තවත් ක්‍රීඩාංගනයක් සඳහා මුදල් වැය කිරීම ඔහුගේ විවේචනයට ලක් විය.



මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් ලබාදෙන බවට රජය නියෝජනය කරන දේශපාලනඥයන් ප්‍රකාශ කළ නමුත් අයිසීසීය අවධාරණය කළේ මුදල් ලබාදීමක් තබා මෙවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ සිදුකර නොමැති බවයි.

අද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පරිපාලකයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් අදාල ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අත්හිටුවීමට අගමැතිවරයා තීරණය කර තිබේ.




No comments:

Powered by Blogger.