Header Ads

Breaking News
recent

ජනපතිගේ ධුරකාලයෙන් සීයට 10ක් දැනටමත් නිකරුණේ නාස්ති වෙලා ඉවරයි - ගම්මන්පිල

මන්ට සහාය දෙන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් 10%ක් දැනටමත් නිකරුණේ නාස්වී ගොස් අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.

"මාස තුනක් මැතිවරණ කටයුතු අත්හිටුවලා මැතිවරණ කටයුතු මත නිදාගෙන සිටීමට මැතිවරණ කොමිසමට කිසිම සාධාරණ හේතුවක් තිබුණෙ නෑ කියලා අපි විස්වාස කරනවා. 2020 මැයි මාසෙ 27 වෙනිදා මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට මැතිවරණයට අවශ්‍ය ලිපිලේඛන මුද්‍රණය කරන්න කියලා ලිඛිතව දැනුම් දෙනවා. හැබැයි ඊට පස්සෙ මැතිවරණ කොමිසමෙන් වාචික උපදෙස් ලැබෙනවා ලු මේක හෙමීට කරගෙන යන්න කියලා. මේ චෝදනාව නඟන්නෙ අපි නෙවෙයි, මුද්‍රණාලයේ ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිය. ඒ නිසා ඒ මුද්‍රණ කටයුතු ඉතාම මන්දගාමීව මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සිදුවෙනවාය කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිය චෝදනාවක් එල්ල කරනවා මැතිවරණ කොමිසමට.

මැතිවරණය සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසමේ ව්‍යවස්ථාපිත වගකීමක් ව්‍යවස්ථාවේ 103 වගන්තිය යටතේ. එහෙම නම් මේ වනවිට මැතිවරණ කොමිසම සිය ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරලා මැතිවරණ කල්දාලා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයට මැතිවරණ කොමිසම කොටස් කරුවෙක් වී ඇතැයි සාධාරණ සැකයක් අද සමාජය තුළ මතුවෙමින් පවතිනවා. අන්න ඒ නිසා මැතිවරණය වහාම පවත්වලා රට අරාජික වීම වැළැක්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් කියලා අපි සිහිපත් කරනවා.

අපට ඡන්ද පෙට්ටි හදන්න තියෙනවා, ලියකියවිලි ගොඩාක් හදන්න තියෙනවා, ඔය කිව්ව පලියට ඉක්මනින් ඡන්දය තියන්න බෑ කියලා මැතිවරණ කොමිසමට කියන්න බෑ. මොකද මාර්තු 02 වෙනිදා තමයි ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් මේ ඡන්දය ප්‍රකාශයට පත් කළේ. දැන් මාස තුනකට වැඩි කාලයක් මැතිවරණ කොමිසම නිදාගෙන ඉඳලා මේ හදිසියේ මැතිවරණයක් තියන්න බෑ කියලා කියන කතාව අපට පිළිගන්න බෑ, මාස තුනක් ඔවුන්ට තිබුණා ඡන්ද පෙට්ටි සකස් කරගන්න.

ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වුනේ මාස 60කට. එයින් මාස හයක් නැත්නම් සීයට දහයක් දැන් ගතවෙලා ඉවරයි. වෙනත් වචනවලින් කියනවා නම් ජනාධිපතිතුමාගේ ධුර කාලයෙන් සීයට දහයක් එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් නොතිබීම හේතුවෙන් නාස්ති වෙලා ඉවරයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.