Header Ads

Breaking News
recent

කොන්දේසි යටතේ හෝ දේවස්ථානවලට රැස්වී පූජා පවත්වන්න දෙන්න

සාමාන්‍ය තත්ත්වයට රට පත්ව තිබීම හේතුවෙන් නිශ්චිත කොන්දේසි යටතේ හෝ දේවස්ථානවලට රැස්වී නිරෝධායන නීතිරීතිවලට අනුව දිව්‍ය පූජාව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියේය.

උන්වහන්සේ ඊයේ (7 වැනිදා) මීගමුව ශාන්ත මරියා දෙව් මැදුරේ පැවැති දිව්‍ය පූජාවේදී මෙම ඉල්ලීම කළේය.

තවදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් මෙසේද පැවැසීය.

‘‘කොරෝනා වසංගතය දැනගත් වහාම කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාව නතර කොට දෙව්මැදුරු වසා දමා නිරෝධායන වැඩපිළිවෙළට අපි උපරිම සහය දැක්වූවා. එම නිසා මේ අවස්ථාවේ රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න තිබෙනවා. අපට විශේෂත්වයක් දක්වන්න කියනවා නොවෙයි.

රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබෙන නිසා කලක් තිස්සේ දේවස්ථානවල දිව්‍ය පූජාවට සහභාගි වීමට බලා සිටි අප ජනතාවට කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමාසහිත කොටසක් සමග රැස්වී නිරෝධායන නීතිරීතිවලට අනුව දිව්‍ය පූජාව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ.

අප දැනටමත් රජය වෙත මේ සම්බන්ධව ඉල්ලීමක් යොමුකර තිබෙනවා. ඒ නිසා රජයෙන්, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින්ද අපටත්, අනිත් ආගමික කණ්ඩායම්වලටත් මේ සඳහා කිසියම් අවසරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම ඉල්ලීම විශේෂ ආකාරයෙන් සලකා බලන ලෙස ජනාධිපති ඇතුළු රජයේ අනෙකුත් සියලු දෙනාටම යොමු කරනවා අපේ ජනතාව වෙනුවෙන්.’’

රේමන් අපෝන්සු


No comments:

Powered by Blogger.