Header Ads

Breaking News
recent

ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ කරන්න එපා - යුද හමුදාපති

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
හෙට (29) මධ්‍යම රාත්‍රීයේ සිට එළඹෙන සඳුදා උදැසන 5.00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අද (28) තීරණය කෙරුණි.

සඳුදා උදෑසන 5.00 ට ඇඳිරිනීතිය ඉවත් කළ ද දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවලට අඛණ්ඩව නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යෑමෙන් කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙසය.  

මේ අතර, නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකවන කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරතවන පිරිස් හැරුණුවිට වෙනත් කිසිදු අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරහිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස නම්කර ඇත්තේ ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය, ගුවන් තොටුපළ ආදී කටයුතු බවද ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාතට ඇතුළුවන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට දැනටමත් කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊට අධිවේගී මාර්ගයද ඇතුළත් බව වැඩිදුරටත් සඳහන් කෙරුණි.

No comments:

Powered by Blogger.