Header Ads

Breaking News
recent

ආණ්ඩුව තමන්ට උදව් කළ රටවිරුවන්ට ගුණමකු වුණා. තානාපති නිලධාරීන් වගකීම් ඉටු කළයුතුයි - සජිත්

වත්මන් රජය බලයට පත්කිරීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල සහායක් ලබාදුන් නමුත් ආණ්ඩුව බලයට පත්වූ පසු ඔවුන්ව අමතක කළ බවත් පවතින කොරෝනා තත්වය හමුවේ එම රටවිරුවන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

"මේ වනවිට පිටරටවල් වල රැකියා කරන අපේම රටේ විදෙස්ගත ශ්‍රමිකයින් අන්ත අසරණභාවයට පත්වෙලා සිටිනවා. අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා ඒ අනාථ වී සිටින, අසරණ වී සිටින අපේම රටේ ශ්‍රමිකයින් අපේ රටට වහාම ආපසු ගෙන්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා, නිසි නිරෝධායනයට ඒ සියලු දෙනාම ලක් කරලා ඒ අයට අපේ රටට ගෙන්වන්නය කියලා. 

අපි දැක්කා ජනාධිපතිවරණ සමයේදී පිටරට වැඩ කරන ජනතාවට රටවිරුවෝ කිව්වා. ඒ වගේම ඒ රටවිරුවන් ජනාධිපතිවරණයේදී දහස් ගණනින් අපේ රටට ඇවිල්ලා මේ වර්තමාන රජය බලයට පත් කරන්නට විශාල කැපකිරීමක් කළා. නමුත් තමන්ව බලයට පත් කරන්න ඒ විශාල දායකත්වයක් ලබාදුන්නු රටවිරුවන්ව වර්තමාන පොහොට්ටු ආණ්ඩුවට අමතක වෙලා හමාරයි. අපිට උදව් නොකළත් අපි අපේ ප්‍රතිපත්තිය හැටියට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ රටේ ජනතාව රැකගන්නවා. ඒ නිසා තමයි මම ආයාචනා කරන්නෙ වර්තමාන රජයට, කරුණාකරලා කෙළෙහිගුණ දක්වන්න. ගුණමකු නොවී තමන්ට ශක්තිය ලබාදුන්නු රටවිරුවන්ව නැවතත් අපේ රටට ගෙන්වීමට වහාම ක්‍රියාමාර්ග යොදවන්නය කියලා. 

ඒ වගේම පිටරට සේවය කරන අපේ රටවිරුවන් අන්ත අසරණභාවයට පත්වෙලා ඉන්නෙ. නමුත් ඒ තානාපති කාර්යාලවලින් හරිආකාර සේවයක් රටවිරු ජනතාවට සිද්ධ වෙන්නෙ නෑ. බොහෝ රටවිරුවන් මට කියන කාරණාව තමයි තමන්ගේ දුක්ගැනවිලිත් සමග ඒ තානාපති කාර්යාලවලට දුරකථන ඇමතුම් ගත්තාම බොහෝ අවස්ථාවලදි ඒ ඇමතුම් විසන්ධි කරනවා. කිසිම සවන් දීමක් නෑ. දුක කියන්නට අවස්ථාවක් නෑ. මේ වගේ තත්වයක් තුළ මම වහාම ක්‍රියාත්මක කළයුතු යෝජනාවක් රජයට ඉදිරිපත් කරනවා. ඒ තමයි තානාපති කාර්යාලවල සේවය කරන ඒ සියලුම දෙනාගේ ප්‍රමුඛතම වගකීම ඒ  ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීම, ඔවුන්ට ශක්තියක් වීම විය යුතුයි කියලා මම රජයට යෝජනා කරනවා. 

විශේෂයෙන්ම මේ තානාපති කාර්යාලවල සේවයෙහි යෙදී සිටින තානාපතිවරුන් ඇතුළු නිලධාරීන් අපේ රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් පෝෂණය වෙන කොට්ඨාශයක්. ඒ නිසා අපේ ජනතාවගේ බදු මුදල් වලින් පෝෂණය වෙන ඒ තානාපති ප්‍රජාව අපේ රටවිරුවන් සුරකින්නට මීට වඩා වැඩි සේවාවක් ඉටු කරන්නට කාලය එළඹිලායි තිබෙන්නෙ. ඒ නිසා ඒ තානාපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලට මම මේ අවස්ථාවේදී කියනවා රටවිරුවන් වෙනුවන් තමන්ගේ වගකීම හරි ආකාරව ඉෂ්ඨ කරන්න කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (14) තිස්සමහාරාම ආසනගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. 

No comments:

Powered by Blogger.