Header Ads

Breaking News
recent

ඇත්තටම ‘ස’ ෆේල් ද? ‘ස’ පාස් ද? | ‘ස’ ෆේල් – ‘ස’ පාස් සමාජ ජාලා යුද්ධයෙන් දින්නේ හරීන්ද - ඉරාජ්ද?

විපක්ෂය විදියට අපි අපේ කාර්ය භාරය තමයි ඉටු කළේ - හරීන්
නාමල් රාජපක්ෂ ඇමැතිතුමා කෙරුව ඉල්ලීම මම බාර ගත්තා - ඉරාජ්

පසුගිය දින කිහිපයේදී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කිරීම සඳහා විපක්ෂය යොදා ගත් ප්‍රධානම ප්‍රකාශය වන්නේ “සර් ෆේල්” යන්නය. මේ ප්‍රකාශය කෙතරම් ප්‍රබලව සමාජ ගත වූයේද යත්, අය වැය විවාදය අතරතුරදී රජයේ ප්‍රබල ඇමැතිවරු බොහෝ දෙනකු උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් නොමැති බව ඔප්පු කර පෙන්වීමටය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාටම සිදු වන තරමටම “සර් ෆේල්” යැයි පළ වූ ප්‍රකාශය බරපතළ විය. සැබවින්ම ජනාධිපතිවරයා සමත්ද, අසමත්ද යන්න කෙරෙහි කතිකාවතක් මේ වන විට සමාජයේද නිර්මාණය වී ඇත.විපක්ෂය නියෝජනය කරමින් මෙම ප්‍රකාශය පළමු වරට සිදු කළේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. රට තුළ බොහෝ මතවාද ඇති කිරීමට සමත් වූ “සර් ෆේල්” යන ප්‍රකාශය නිර්මාණය වූ ආකාරය සහ එහි පසුබිම සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

හරීන් ප්‍රනාන්දු

“කලින් හැම දෙනාම කිව්වේ රෙස්පෙක්ට් සර් කියලනේ. ඒක තමයි සමාජ ගත වෙලා තිබුණේ. ඒත් රජය දිගින් දිගටම කටයුතු කරන විදිය දකිද්දී දැන් මොකක්ද කියන්නේ කියන එක මිනිසුන්ට ප්‍රශ්නයක් වුණා. ඒ වෙනුවෙන් තමයි අපි සර් ෆේල් කියන වදන ගෙනාවේ. ඇත්තටම මුලින් ඕක අපි ගෙනාවේ ස ෆේල් කියලා. ජනාධිපතිවරයාගේ නම යොදා ගන්නේ නැතිව එතුමාට අපහාසයක් වෙන්නේ නැති වෙන්න තමයි අපි ඒක කළේ. නිලධාරියෙක් ෆේල් කියන්නේ ඔහුට ඉදිරියක් නැහැ කියන එක.
පසුගිය නොවැම්බර් 01 වැනිදා ඉඳන් විපක්ෂය විදියට හැම දෙනාම මේ ප්‍රකාශය කරන්න අපි තීරණය කළා. මොකද අපි ආණ්ඩු කරද්දී විපක්ෂයේ හිටිය අය කළෙත් ඕකමයි. මහ බැංකු හොරු මහ බැංකු හොරු කියන එක නිතර ජප කෙරුවා. ඒ හරහා බැඳුම්කරය කියන්නේ මොකක්ද කියලා නොදන්න ජනතාවගේ හිත් තුළ පවා ආණ්ඩුව මහ බැංකුව හොරකම් කළා කියලා ජනමතයක් ඇති වුණා.
ස ෆේල් කියන එක අපිත් ජනතාව අතරට අරන් ගියා. සමාජ මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය වගේ හැම දෙයක්ම ඒ සඳහා යොදා ගත්තා. දැන් ජනතාව ඒක අල්ලගෙන යනවා. විපක්ෂය විදියට අපි අපේ කාර්ය භාරය තමයි ඉටු කළේ.” ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ එසේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වරක් ෆේල් වූවද ඕනෑම අයෙකුට නැවත පාස් වීමේ හැකියාවද පවතින බවය.
“පළමුවර සාමාන්‍ය පෙළ අසමත් වන කෙනකුට නැවත දෙවැනිවර විභාගයට මුහුණ දීලා ඉතාම ඉහළින් සමත් වෙන්න පුළුවන්. අපි ජනාධිපතිතුමාට කියන්නෙත් ඒකයි. මුලින් තමන් අතින් වුණු වැරැදි තේරුම් ගන්න ඕනෑ. මම ඩිජිටල් අමාත්‍යාංශය බාරව ඉන්න කාලේ සිද්ධ වුණු ඇතැම් වැරැදි ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මම කියන්නේ මේකයි. නරක යාළුවෝ ටිකක් එක්ක රෑට පාඩම් කරන්න ගිහින් වැරැදි වැඩ කෙරුවොත් ෆේල් වෙනවා. නමුත් ඒ නරක යාළුවෝ ටික අයින් කරලා හරියට වැඩ කෙරුවොත් ඊළඟ සැරේ පාස් වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පළමුවැනි අවුරුද්ද තමයි අපි ෆේල් කියන්නේ. හැබැයි හරියට වැඩ කරලා ඊළඟ අවුරුද්දෙදි පාස් වෙන්න එතුමාට අවස්ථාව තියෙනවා.” ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ එසේය.


ඉරාජ් වීරරත්න 

“ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. මොකද මම රජයේ කොන්ත්‍රාත් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම කාගෙවත් ප්‍රචාරණ වැඩ කරන කෙනෙකුත් නෙවෙයි. මම දේශපාලනඥයෙකුත් නෙවෙයි. මම ගායකයෙක්. මට මගේ සින්දු තියෙනවා ඕනෑ තරම් ප්‍රචාරණ කටයුතු කරන්න. එක රටක් එක නීතියක් ඇති කරන්න අපි පෙනී හිටියා. ඒ වෙනුවෙන් අපිට හිටිය එකම විකල්පයට අපි සහයෝගය දුන්නා. මොකද අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ හින්දා ඒ වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනුවා නම් අද වෙද්දී කොරෝනා හැදිලා ගොඩක් අය මැරිලා. හැබැයි එතැනින් එහාට මේ රජය වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැහැ. මම රජයේ තනතුරු දෙකක් ගත්තා කියලා මාධ්‍ය වාර්තා කළා. ඒත් මට මුලින් දුන්නු තනතුර මම බාර ගත්තේ නැහැ. නමුත් තරුණයෝ වෙනුවෙන් දෙයක් කරන්න කියලා නාමල් රාජපක්ෂ ඇමැතිතුමා කෙරුව ඉල්ලීම මම බාර ගත්තා.”
එලෙස අදහස් දැක්වූ වීරරත්න මහතා ආණ්ඩුවේ ඉදිරිය ගැන අදහස් දැක්වූයේ මෙසේය.
“ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටට හොඳ දෙයක් කරයි කියලා මට තවමත් විශ්වාසය තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 2025 තෙක් ජනාධිපති ධුරයේ බලය තියෙනවා. එතුමා දිගින් දිගටම ඒ ධුරයේ ඉඳියි කියලා මම හිතන්නේ නැහැ. ඒ හින්දා ඉදිරියේදී එතුමා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගොඩක් ගනීවි. හැබැයි ඒ තීරණ රටේ අනාගතයට ඉතාම වැදගත් වේවි කියල අපිට විශ්වාසයි.”
මේ අතර ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය කෙරෙහි තමන්ගේ ප්‍රසාදයක් නොමැති බවද වීරරත්න මහතා සඳහන් කර සිටියේය.
“සිංහල බෞද්ධ බහුතර ජනතාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බලය ලබා දුන්නේ. එක රටක් එක නීතියක් යටතට රට ගෙන ඒම තමයි ඡන්දය දුන්නු අයගේ බලාපොරොත්තුව වුණේ. අපි බුර්කාවට විරුද්ධයි. ළමා විවාහවලට විරුද්ධයි. නැගෙනහිර පළාතේ බෞද්ධ විහාර කඩා දමද්දී අපි විරුද්ධ වුණා. ඒ වගේ අරමුණකින් පත් කෙරුව ජනාධිපතිවරයෙක් යටතේ ඇතැම් ඇමැතිවරු වැඩ කරන විදිය ගැන අපිට එකඟ වෙන්න බැහැ. අපි මේ ගැන ජනාධිපතිතුමාව දැනුවත් කරලා තියෙනවා. ඒ ගැන එතුමා ඉක්මනින්ම පියවරක් ගනීවි කියලත් අපි බලාපොරොත්තු වෙනවා.” වීරරත්න මහතා අදහස් දැක්වූයේ එසේය.

චන්දන පොන්නම්පෙරුම
Mawrata


No comments:

Powered by Blogger.