Header Ads

Breaking News
recent

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක් යයි ජිනීවාහිදි ඔප්පු කලා.. ජිනීවා පෙන්වා ඔවුන් හදන්නේ රට කොල්ල කන්නයි..

ඉන්දියාව මානව හිමිකම් දඬු අඩුව යොදාගනිමින් අපේ රටේ ජාතික සම්පත් කොල්ලකෑමට ගන්නා උත්සාහය යළිත් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඔවුන් හැසිරුණු ආකාරයෙන් තහවුරු වී ඇති බවත් එම ක්‍රියා පිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (24) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය.

වැනෙන්නෙ නැති සෘජු තීරණයක්

“දෙමළ ඩයස්පෝරාවට යට වූ සහ ඔවුන්ගේ ඡන්දය බලාපොරොත්තු වන රටවල් විසින් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනා ආ ශ්‍රී පංකාවට එරෙහි යෝජනාව සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ අව්‍යාජව අත්වැල් බැඳගත් චීනය, රුසියාව, කියුබාව ඇතුළු ඒ රටවල් 11ට අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ ප්‍රණාමය පුද කරනවා. මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වැනෙන්නෙ නැතුව සෘජු තීරණයක් ගත් අපේ ආණ්ඩුවටත් අපි කෘතවේදීත්වය පළ කළ යුතුයි. පසුගිය ආණ්ඩුවට මේ සඳහා කොන්දක් තිබුණේ නැහැ. ඒ නිසයි ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 සහ 40/1 යෝජනා සඳහා සමඅනුග්‍රාහකත්වය දැක්වූයේ. සමඅනුග්‍රාහකත්වය දැක්වූවා පමණක් නොවෙයි එම යෝජනා මාලාවේ නිර්දේශ එකිනෙක ක්‍රියාවට නැංවූවා. රණවිරු දඩයම, විශේෂයෙන් බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පෙන්වාදිය හැකියි.

ජාත්‍යන්තර මානව හිමිකම් අවිය

විශේෂයෙන් බුද්ධි අංශ දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් වූයේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමයි. ඒ විදිහට කොන්ද නමමින් යහපාලන ආණ්ඩුව කළ පාවාදීම් නතර කරමින් එම රටට එරෙහි යෝජනාවලින් ඉවත් වීමට අපේ ආණ්ඩුව ක්‍රියා කළා. කොටි ත්‍රස්තවාදීන්ට ආයුධවලින් කරගන්න බැරිවුණු වැඩේ දෙමළ ඩයස්පෝරාවට ජාත්‍යන්තර මානව හිමිකම් අවිය යොදාගෙන ඉටු කරගන්නට වුවමනා වුණා. අදත් අපි දකින්නේ ඒ උවමනාව ක්‍රියාත්මක වන ආකාරයයි. එදා ප්‍රභාකරන්ගේ බෝම්බයට බැරි වුණු දේ මිෂෙල් බැෂලේලාගේ මානව හිමිකම් බෝම්බය මගින් ඉටුකර ගන්නයි මේ උත්සාහ ගන්නේ. අපි ඉතා පැහැදිලිව මේ සම්මත වූ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යන්තර කීර්තියට පත් සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, සර් ජෙෆ්රි නයිස්, මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් වැනි යුද අපරාධ විශේෂඥයන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා අසත්‍ය ඒවා බවට ඔප්පු කොට තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හැමදාම රැගෙන ආවේ වැදගත් යෝජනා නොවෙයි, ශ්‍රී ලංකා රජය උගුලකට හසු කරන යෝජනායි. පසුගිය කාලයේ රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ශ්‍රී ලංකා රජය උගුලකට හසු කරගන්න උත්සාහ කළා. ඒ තමයි ‘මෙම සම්මත වූ යෝජනාව වෙනුවට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි’ කියන එකට එකඟ කරවා ගැනීමට. අපේ ආණ්ඩුවට කොන්දක් තිබුණා ඒ උගුලේ නොවැටී ඉන්න.

නමුත් අපට ඉතා කණගාටුයි ‘අපේ අසල්වැසියා, ලොකු අයියා’ කියන ඉන්දියාව ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී හැසිරුණු ආකාරය ගැන. එහිදී ඔවුන් ඉතා පැහැදිලිව යළිත් සනාථ කළා ‘ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක්’ කියා. ඉන්දියාව හැමදාම ‘13 වැනි සංශෝධනය කියන මුව හමට’ තඩි බාමින් ශ්‍රී ලංකාවට වින කරනවා. ඉන්දියාවේ ඒ නිලර්ලජ්ජිත ක්‍රියාදාමය නිසා තමයි ඉන්දියාවට ඉතාමත් දැඩි ලෙස යටත්ව සිටින නේපාලයට ද කලාපීය සහයෝගීතාව පවා නොසලකා ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්දය දීමට සිදුවූයේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Powered by Blogger.