ලුණුගලදී බස් එක මගඇරී ත්‍රිරෝද රියකින් එළවලා ගිහින් ගොඩවුණ යුවළත් ජීවිතක්ෂයට
“තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අද අපි දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි.”
පස්සර මාරක බස් අනතුරින් මිය ගිය අන්තෝනි සාමි නෝවා හා බැනට් මැඩෝනා යුවළගේ දියණිය සිය මවගේ හා පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව හඬමින් එසේ පැවසීය.
ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පෑස්සුම්කරුවකු ලෙස රැකියාව කළ අන්තෝනි සාමි නෝවා (32) සහ ඔහුගේ බිරිය වූ බැනට් මැඩෝනා (31) යුවළ ලුණුගලින් මෙම මාරක බසයට ගොඩ වී ඇත්තේ අන්තෝනි සාමි නෝවාගේ ඇසක ආබාධයක් සඳහා ශල්‍යකර්මයක් කරගැනීම සඳහා ය. දරු තිදෙනකුගේ පියා වූ අන්තෝනිගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 9කි. 8 හැවිරිදි පුතෙකු සහ අවුරුදු 4ක දියණියක ද සිටින මේ යුවළට ලුණුගලදී මෙම බස් රථය මගහැරී ඇතත් දෛවයේ සරදමකට මෙන් ඔවුන් ත්‍රිරෝද රියකින් බස් රථය පසුපස හඹාගෙන ගොස් අතරමගදී බසයට ගොඩ වී ඇත්තේ අවාසනාවන්ත අයුරිනි.
අනතුරින් අඹුසැමි යුවළ මියගිය අතර අවුරුදු 10ට අඩු දරුවන් තිදෙනාගේ භාරකාරිත්වය පැවරී ඇත්තේ ඔවුනගේ මිත්තණියටයි.
මියගිය යුවළගේ අවසන් කටයුතු 21 වැනි දින ලුණුගල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මැද සිදු කරන විට තම මව හා පියා මියගිය බව පවා නොතේරෙන අන්තෝනි සාමිගේ කුඩා දරුවන් මිත්තණියට තුරුලු වී වික්ෂිප්ත දෙනෙත්වලින් බලා සිටිනු දක්නට ලැබිණි.
No comments: