Header Ads

Breaking News
recent

පඩි වැඩි කරන්න පුළුවන්, හැබැයි ඒ වියදම රටේම මිනිස්සුන්ට බදු ගහලා හූරලා ගන්න වෙනවා - බන්ධුල

ගුරුවරුන් ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටින ආකාරයට වැටුප් වැඩි කිරීමට නම් ඊට වැයවන මුදල සමස්ත රටේ ජනතාව මත අධික බදු බරක් පටවා සූරාගැනීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

"ලංකාවත් ලෝකෙ අනිත් රාජ්‍යයන් වගේම ප්‍රධාන අර්බුද තුනකට මුහුණ දෙනවා. එකක් තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. දෙක තමයි ගෙවුම් ශේෂය නැත්නම් විදේශ විනිමය පිළිබඳ අර්බුදය. තුන තමයි ආර්ථිකය කඩාවැටීම නැත්නම් ආර්ථිකය පසුබෑම පිළිබඳ අර්බුදය. 

දැන් අපි මේ රටේ ජනතාව සියලු දෙනා තේරුම් ගතයුතු මූලික සිද්ධාන්තය තමයි මේ ආණ්ඩුව කියන්නෙ ඔබේ ආණ්ඩුව. ආණ්ඩුව වියදම් දරනවා කියන්නෙ ඒ වියදම දරන්නෙ මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාවත් නෙවෙයි. මේ වියදම දරන්නෙ මේ රටේ මහජනතාව. 

ක්‍රම දෙකයි තියෙන්නෙ රජයකට ආණ්ඩුවකට ආදායම් ලැබෙන. එකක් බදු, අනෙක බදු නොවන. මුළු ආදායමෙන් 86%ක් ලබාගන්නෙ මහජනතාව මත බදු පටවලා. සමස්ත ලාංකීය ජනතාව මත බදු පටවලා අපි ලබාගන්න මුළු ආදායම රුපියල් බිලියන 1216 යි. රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්න හා විශ්‍රාම වැටුප් ගෙවන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අපි 2020 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා බිලියන 1052ක්. 

ඕනෙ කෙනෙක්ට මාසෙකට දහදාහ, පාළොස්දාහ, විසිදාහ බැගින් පඩි වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ වැඩි කරන හැම සතයක්ම මේ රටේ මිනිස්සු මත බදු පනවලා හූරලා ගන්න ඕනෙ. වෙන විකල්පයක් තියෙනවා මම කරුණාකරලා ඒ කියන පාර්ශ්වයන්ට කියනවා කොහෙන්ද ඒක ගන්නෙ කියලා. එහෙම නැත්නම් තියෙන රාජ්‍ය දේපළ එහෙම් පිටින්ම විකුණන්න ඕනෙ. වැට් වලින් ලැබෙන ආදායම බිලියන 233 යි. වැට් හතර ගුණයකින් වැඩි කළොත් 400%කින් වැඩි කළොත් ලබාගන්න පුළුවන් වෙන්නෙ බිලියන 932 යි. ගත්ත රාජ්‍ය ණයවලට පොළී ගෙවන්න තියෙනවා බිලියන 980 ක්. එතකොට වැට් එක හතර ගුණයකින් වැඩි කළත් රාජ්‍ය ණයවල පොළී ගෙවන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි. 


No comments:

Powered by Blogger.