Header Ads

Breaking News
recent

ජනාධිපති නිකුත් කළ රෙගුලාසියකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති, දැඩි අන්තවාදී මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාල රෙගුලාසිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් 03 ක් සලකා බැලීමෙන් අනතුරුව ඊයේ මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

රුවන් ලක්නාත් ජයකොඩි, කාවින්ද්‍යා ක්‍රිස‍්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශිරාන් සනුර යන පුද්ගලයන් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබෙන අතර පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා. ඊයේ මෙම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68/2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් 'දැඩි අන්තවාදී මතවාදයන්ගෙන් මුදාගැනීම්' නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම රෙගුලාසි යටතේ ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලියකින් තොරව පුනරුත්තාපනයට යොමුකළ හැකි බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි තර්ජනයක් එල්ල වන බවයි.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 13.1, 13.2, 13.4, 13.5, 13.6, 13.1(ආ), 14.1(ඈ) සහ 17 යන වගන්ති සෘජුවම උල්ලංඝනය වන බැවින්, මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත්, මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.


No comments:

Powered by Blogger.