Header Ads

Breaking News
recent

ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපා - ජනපති

නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපා

රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙත්, ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මහවැලි, රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනේ අද (පෙබ. 26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක ය.
මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදා දීමට සැලසුම් කර තිබේ.

පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරේ.

ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලු ම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදා වේ.

රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් ඔප්පු ප්‍රදානය කෙරිණි.

"විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදු ව ඇති ප්‍රධාන ම ගැටලුවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවකි. පෙර රජයන් ගත් ණය, පොලී සමග ගෙවීමට සිදු ව තිබේ. මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදු වූවක් නොවෙයි," ජනාධිපතිවරයා පැවසීය.

පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක් ව වැඩ කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිදු පාර්ශ්වයකින් අපේක්ෂා නො කරන බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවාදීන් යැයි කියා ගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බව ත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව, දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බව ත් ය.

කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

No comments:

Powered by Blogger.