Header Ads

Breaking News
recent

පළාත් පාලන මැතිවරණය සඳහා සන්ධාන 05ක්!

පළාත් පාලන මැතිවරණය සඳහා සන්ධාන 05ක් තරග බිමට පිවිසීමට සූදානම්ව සිටිති. මේ වනවිට පක්‍ෂ අතර අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙන අතර තවත් පක්‍ෂ සාකච්ඡා අවසන් අදියරේ සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය සන්ධානගතව මැතිවරණය තරග කිරීමට සාකච්ඡා පැවැත්වෙන බව එම පක්‍ෂ ආරංචිමාර්ග පවසයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සන්ධාන ගතවන ආකාරය පිළිබඳව පක්‍ෂ සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව එජාප මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

මැතිවරණයට පක්‍ෂය සූදානම් වන නමුත් මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණයක් රටේ පවතී ද යන්න ප්‍රශ්නයක් බවත් එන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන බවත් හෙතෙම කීය.

මේ අතර සමගි ජන බලවේගය ද මැතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර පළාත් පාලන අපේක්‍ෂකයන් තේරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් වෙන්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කණ්ඩායම හා ආණ්ඩුවෙන් වෙන්වූ අනෙකුත් පක්‍ෂ වෙනම තරග කිරීම සඳහා සාකච්ඡා පවත්වා තිබේ. ඔවුහු සමගි ජන බලවේගය හා විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටිති.

මැතිවරණයට ඉදිරිපත්වන විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය ඇති කිරීමට මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවත් උත්තර ලංකා සභාගය වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය. සන්ධාන ගත වන්නේ කුමන පාර්ශ්ව සමග ද යන්න තීරණයට උත්තර ලංකා සභාගයේ පක්‍ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් සඳුදා 19 දා පැවැත්වෙන බවද ඔහු කීය.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය යටතේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග එක්ව මැතිවරණයට නාම යෝජනා භාරදීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ද උතුරු නැඟෙනහිර සියලුම පළාත් පාලන ආයතනවලට තරග කිරීමට නාම යෝජනා සකස් කරන බව එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පවසති.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් තම පක්‍ෂය තවම අවසන් තීරණයක් ගෙන නැති බව පෙරටුගාමි සමාජවාදි පක්‍ෂය සඳහන් කරයි. මැතිවරණයේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනට පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා පවත්වන බවත් කෙසේ නමුත් කිසිම පක්‍ෂයක් සමග සන්ධාන ගත නොවන බවත් එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

රෂිකා හෙන්නායක
-lankanewsweb

No comments:

Powered by Blogger.