Header Ads

Breaking News
recent

කතරගම දෙවි හාමුදුරුවන්ගේත් කිරිවෙහෙර වහන්සේගේත් ආශිර්වාදය ලැබිය හැකි ප්‍රායෝගික ක්‍රමය කිරිවෙහෙර නා හිමියෝ සැදැහැවතුන්ට කියති!

දෙස් විදෙස් විශාල ජනතාවක් සම්බන්ධවෙන කතරගම ඇසල මහා මංගල්‍යය තව දින 07කින් ආරම්භවන බවත්, මෙම උත්තම පුණ්‍යකර්මයට  සහභාගී වීම සඳහා පැමිණෙන බැතිමතුන් තමන් රැගෙන එන පොලිතින්, ප්ලාස්ටික් බෝතල් වැනි  කසල අවිධිමත්ව පුදබිමට බැහැර කර ශුද්ධ භූමියක් අපවිත්‍ර නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියෝ පවසති.

උන්වහන්සේ බැතිමතුන්ට අනුශාසනා කරන්නේ හැඟීම් රහිතව තැන තැන කසල බැහැර කර ශුද්ධ භූමියක් අපවිත්‍ර කරන්නේ නම් එම  පින් බිම වන්දනා කර ප්‍රාර්ථනා කරන යහපත පුද්ගලයින් වෙත ලඟා නොවන බවය.  රහමෙර පානයෙන් වැලකී නිර්මාංශව පැමිණ  විනිතව සංවරව මෙම පුදබිම වන්දනා කරන ලෙස උන්වහන්සේ බැතිමතුන්ට උපදෙස් දෙති.

උන්වහන්සේ මෙසේ ද කරුණු පහදති.

” කිරිවෙහෙර සෑ රදුන් වදින්න එද්දී, කතරගම දෙවි හාමුදුරුවන් වදින්න එද්දී ඔබ රැගෙන එන පොලිතින් ආදි කැළි කසල තැන තැන බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරන්න එපා. කැළි කසළ දැමිම සදහා මෙවරත් අපි විශේෂිත වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. කසල බඳුන් තුළට පමණක්ම කසල බැහැර කිරිම කරන්න.”

“මේ ඇසල පෙරහැර මංගල්‍යෙය්දි ඔබ විවිධ පළාත්වල සිට මේ කතරගම පුදබිමට පැමිණෙන්නේ මහත් වු ශ්‍රද්ධාවකින් හා බැතියකින් යුතුව කිරිවෙහෙර සෑ රදුන්ගේ,අෂ්ඨ ඵළරුහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් විවිධ බාරහාර ඔප්පු කරන්නයි. ඉතින් මේ එද්දී ඔබ පුදබිමට ඇවිත් වන්දනාමාන සිදු කරලා බාර හාර ඔප්පු කරලා යන විට ඔබ රැගෙන ආ පොලිතින් ආදී කැළි කසල පුදබිමේ විවිධ ස්ථානවලට බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරලා යනවා කියන්නේ ඔබ කතරගමට ඇවිත් සිදුකල පිංකම් වලින් ආශිර්වාදයක් ගන්න පුළුවන් වෙන එකක් නෑ.

ඔබ මේ පුදබිමට එන්නේ සැදැහැති සිතින් වගේම ඔබ වන්දනාමාන සිදුකරලා යළි මේ පුදබිමෙන් යන්න ඕනෙත් සැදැහැති සිතින්ම තමයි.ඒ තුළ තමයි දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් කම තියෙන්නේ.

මෙවර කතරගම වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ජූලි මස 06 වන දින සිට 22 දින දක්වා පැවැත්වෙනවා.ලෝකවාසි සියළු ජනතාවට මේ සදහා එක්වන්න කියලා ආරාධනා කරන ගමන්ම යළිත් මම සිහිපත් කරන්නේ මෙයයි. පුදබිම අවට සෑම ස්ථානයකම කසළ බැහැර කරන්න ස්ථාන වෙනම ස්ථාපනය කරලා තියෙනවා. ඒ ස්ථාන වලට ඇරෙන්න වෙනත් කිසිදු ස්ථානයකට කසල බැහැර කිරිම සිදුකරන්න එපා .

මොකද සෑම වසරකදීම අපි විශාල කැළි කසල තොගයක් එකතු කරනවා පුදබිමට පැමිණි ඔබ විසින් තැන තැන ගස් යට දමා ගොස් තිබෙන. ඒ නිසා නිර්මාංශව, මත් පැන් බීමෙන් තොරව සැදැහැති සිතින් බැතියෙන් යුතුව දෙවියන් බුදුන් වදින්න එන්න කියන ඉල්ලීම කාරුණිකව කරනවා”
යැයි උන්වහන්සේ කීහ.

No comments:

Powered by Blogger.