Header Ads

Breaking News
recent

සිල් රෙදි නඩුවේ දඬුවමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු දෙදෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 23දා කැඳවීමට නියම වෙයි


සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් නියම වී ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව  ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් එම දඬුවමට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා ජුලි මස 23 වනදා කැදවන ලෙස  අභියාචනාධිකරණය නියම කළා.

ලලිත් වීරතුංග මහතා වෙත අධිකරණය විසින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරමින් දැනටමත් දී තිබෙන නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කරන ලෙස ද අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළා.

මෙම අභියාචනා අද කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගෙ එකඟතාවය මත අභියාචනා පිළිබදව විභාගය ජුලි මස 23 දා කැඳවීමට නියම කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ  විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක පමණ මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථාන වෙත සිල් රෙදි බෙදා හැරීම තුළින්  රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි  යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා විත්තිකාර ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

තමන්ට මහාධිකරණය විසින් දඬුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී බවද එම දඬුවම ඉවත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

No comments:

Powered by Blogger.