Header Ads

Breaking News
recent

අවුරුදු උත්සව වල සැඟවුණ අමුත්තා හොයනවා වගේ ඔබේ අංකය මොකක්ද කියල අපේක්ෂකයාගෙන් ජනතාවට අහන්න වෙලා - හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අවුරුදු උත්සව වල සැඟවුණ අමුත්තා සොයන්නා සේ මෙරව මැතිවරණයට අපේක්ෂකයින්ට මුහුණ දීමට සිදුව ඇති බව හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලමේන්තු අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

මැතිවරණ කොමිසම පැමිණි පසු ඡන්ද දායකයා උනන්දු කරවීම වෙනුවට සිදු කරන්නේ ජනතාව අධෛර්යමත් කිරීම බවත්, කවුරුන්ද ඡන්දය ඉල්ලන්නේ, ඔබගේ අංකය කුමක්ද යන්න අතින් අල්ලා අහන්නට සිදුව ඇති බවත් හිටපු නිවාස අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.

කරුණා අම්මාන් කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව කී ඉන්දික අනුරුද්ධ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයක ගණුදෙනු කරන පුද්ගලයෙක් නොවන බවද පැවසීය.
ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල, වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

මැතිවරණයකදී දැන් පෝස්ටර්, කටඅවුට් ගහන්නේ නැහැ. තැන තැන අවලස්සන වන ආකාරයේ කටයුතු සිදු කරන්නේ නැහැ. හැබැයි අපි පක්ෂ කාර්යාල, දේශපාලන ප්‍රචාරකයට සහ ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහන් වලට සාමන්‍යයෙන් යොදා ගන්නවා. නමුත් මෙවර මැතිවරණය කරන්නට සිදුව ඇත්තේ අවුරුදු උත්සවවල සැගවුණු අමුත්තා සොයනවා වගෙයි. ඔබ ඡන්දය ඉල්ලනවාද? ඔබගේ අංකය කුමක්ද කියා ගිහින් අතින් අල්ලා අහන්න වෙනවා.

පක්ෂ කාර්යාල, ශාඛා කාර්යාල, ප්‍රධාන කාර්යාල, ඡන්ද මධ්‍යස්ථාන කාර්යාල අපි වෙනදා පවත්වාගෙන ගියේ ඡන්ද දායකයා උනන්දු කරවීමටයි. නමුත් මැතිවරණ කොමිසම පැමිණි පසු ඡන්ද දායකයා උනන්දු කරනවා වෙනුවට ඡන්ද දායකයා අධෛර්යයමත් කරනවා. ඡන්දයකින් පිළිඹිබු වන්නේ රටේ වැඩපිළිවෙල, ආණ්ඩුවේ ක්‍රියාපටිපාටියයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන එකම දේ මැතිවරණයයි. ජනාධිපතිතුමන් ගැන, ආණ්ඩුව ගැන ජනතාව විශ්වාසය තබා ගන්නේ මැතිවරණ ප්‍රතිඵලය මතයි. එයට ගැලපෙන ආකාරයේ ප්‍රතිපලයක් පසුගිය රජය පරාජයට පත්කර ජනතාව 69 ලක්ෂයක් ඡන්දය භාවිතා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කර ගත්තා. දැන් එය පෙන්වන්නට විදිහක් නැහැ. පාර්ලිමේන්තුවේ නිර්මාණය කර ගත් ව්‍යාජ බහුතරය තියාගෙන කටයුතු කරන්න ඇතැමුන් සුදානම් වුණා. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් පුළුවන් තරම් මැතිවරණය පවත්වන එකට පොල්ල දැම්මා. දැන් ඡන්ද දායකයා ඡන්ද පොළට එන එකටත් මේ ආකාරයෙන් පොල්ල දා තිබෙනවා.

අපි අසා තිබුණේ මැතිවරණ කොමිසමේ මැතිවරණ කොමසාරිස්වරයා ගැන පමණයි. නමුත් දැන් මැතිවරණ කොමසාරිස්ට අමතරව තව පුද්ගලයින්  රැසක් ගැන අසන්නට ලැබෙනවා. අපි ඉල්ලන්නේ සැගවුණ අමුත්තා ක්‍රමය ඉවත් කර කඩිනමින් උනන්දුවක් ඇතිවන ආකාරයට ප්‍රවර්ධනයක් සිදු කළ හැකි වැඩ පිළිවෙලක්. එය ඉක්මනින් කොමිසම එකතු වී ලබා දෙනවා නම් හොඳයි. නැතිනම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කරන්න තියෙන ජනතාවගේ උනන්දුව අඩුවනවා. එවිට ව්‍යාජ බහුතරය, ව්‍යාජ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව වෙනස් කරලා රටේ මිනිස්සුන්ට සංවර්ධනයක් කරන්න තියෙන කාලය කෙටි වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ගැටුම සහ ගැටලුව ඊළඟ කාරණාව වනවා. පක්ෂයක් ලෙස එය අපට අදාල කාරණාවක් නොවෙයි. බිම් මට්ටමින් පාක්ෂිකයා කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන දැවැන්ත පක්ෂය අපි ළඟ තිබෙන්නේ. ‘වතුරට වැටුනාහම පිඳුරු ගහෙත් එල්ලෙන්න හදනවා’ වගේ දැන් කුමක් හෝ දෙයක් ඔවුන් සොයා ගන්නවා. අලුත්ම කරුණ වී ඇත්තේ කරුණා අම්මාන්ගේ ප්‍රකාශයයි. කරුණා අම්මාන් අපේ කෙනෙක් යැයි ප්‍රතිවාදීන් කියනවා. ඔහු පවසන දේ අනුව දැනෙන්නේ ආණ්ඩුවේ මතය යැයි පවසනවා. එසේ පවසන්නේ ඇයි? මීට පෙර

මංගලට කට වැරදුනා, දැන් හරීන්ට කට වැරදුනා. බ්‍රේක් නැති කටින් කිය වුණ ප්‍රකාශ ජනතාව ප්‍රතික්ෂේප කළා. එය සමාජගත වී අවසන්. දැන් එතැනට කරුණා අම්මාන්ව ගෙනල්ලා දානවා. කරුණා අම්මාන් අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ නැහැ. කරුණා අම්මාන්ට අප කිසි දේයකට ආරාධනා කර නැහැ. ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග, පොලිස් පරීක්ෂණ කඩිනමින් භාජනයට ගන්නැයි අප පැහැදිලිව කියලා තියෙනවා. අපි එදා විපක්ෂයේ සිටියදී දුටු වැරැද්ද අද ආණ්ඩුවේ සිට දකිනවා. වැරැද්දක්, වැරැදි ප්‍රකාශයක්, කවුරුන් හෝ අතින් සිදු වු වැරැද්දක් වහන්නට උත්සාහ කරන්නේ නැහැ. කරුණා අම්මාන් කළ ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. අනාගතයේ හෝ වර්තමානයේ කරුණා අම්මාන් අපට උදව් කරයි කියා සිතා සිටිනවා නම් එය වැරැදියි. ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයක ගණුදෙනු කරන පුද්ගලයෙක් නොවෙයි. කරුණා අම්මාන් ඡන්දය ඉල්ලන්නේ වෙනත් පක්ෂයකින්. දමිළ ජනතාවට හෝ සිංහල ජනතාවට හෝ ලංකා ආණ්ඩුවට පක්ෂපාතීව නොවන ආකාරයෙන් කටයුතු කරනවා නම් අපි එතැන නැහැ. කරුණා අම්මාන්ව එල්.ටී.ටී.ඊ එකෙන් කඩාගත්තේ යුද ජයග්‍රහනය කරවා ගැනීම සඳහායි. ‘ඌරාගේ මස් ඌරාගේ පිටේ තියලා කපනවා’ වගේ අපි ඒ කටයුත්ත කරලා යුද්ධය ජයග්‍රහණය කළා. අපගේ වුවමනාව වූයේ යුද්ධය ජයගැනීමයි. එය මහින්ද රාජපක්ෂ මහතා නිසියාකාරව සිදු කළා.

දැන් බොහෝ අය එම්.සී.සී ගිවිසුම ගැන කතා කරනවා. එය සමාලෝචනය කරන්න යන එක ගැන කියනවා. ගිවිසුම සමාලෝචනය කිරීම ගිවිසුම අත්සන් කරනවා කියන එක නොවෙයි. එම්.සී.සී එකේ භාගෙට භාගයක් එක්සත් ජාතික පක්ෂ සමයේ කැබිනට් එකට , පාර්ලිමේන්තුවට එවන්නේ නැතිව අත්සන් කළා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා එහි පූර්ව මුල් පියවර අත්සන් කර අවසන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එය සමාලෝචනය කරනවා කියන්නේ එහි අනවශ්‍ය දෙය ඉවත් කිරීමයි. අනවශ්‍ය දේ ඉවත් කරනවා යනු එම්.සී.සී ගිවිසුම අත්සන් කරනවා කියන එක නොවෙයි. සිංගප්පූරු ගිවිසුම, ඉන්දියානු ගිවිසුම, වෙළඳ ගිවිසුම්, ජාත්‍යන්තර ගිවිසුම් එන විට රාජ්‍ය නායකයකු ලෙස එය කුමක්ද කියා සොයා බැලිය යුතුයි. එය බැලීම ඒ සියල්ල ගන්නවා කියන එක නොවෙයි. මෙරට ජනතාව බුද්ධිමත්. මෙරව මහ මැතිවරණය අග්‍රගණ්‍ය ප්‍රතිපලයක් බවට පත්වනවා. අද වන විට එක්සත් ජාතික පක්ෂය

හෝ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෝ කවුරුන්ද කියා සොයා ගන්නට බැහැ. ඡන්දය ලබා දිය යුතු ලකුණ කුමක්ද කියා සොයා ගන්නට බැහැ. සමගිජන බලවේගයේ අය අලියට ඡන්දය ලබා දීමට බලා සිටිනවා. ඒ පිරිස් වැඩිපුර කතිරය ගසන්නේ අලියටයි. ඔය කිසිවකු නැතිව අපට ආණ්ඩුව හදන්නට හැකියාව තිබෙනවා. ජනතාව මැතිවරණයට තියෙන උනන්දුවත් සමඟ තුනේ දෙකේ බලය අපට පේනවා. ඒ උනන්දුව ඇතිව අපි මෙවර මැතිවරණ කටයුතු සිදු කරමු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනවිත් විශාල රැළි අපට සිදු කරන්නට මෙරව අවස්ථාව නැතිවනවා. මෙවර මැතිවරණ කටයුතු සිදු වන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය ආරක්ෂිතවයි. ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් පැමිණෙන විට ජනතාව 50,000 ක් පමණ එකතු වනවා. ඒ නිසා මෙවර ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මේ දේ සිදු කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කරන ප්‍රකාශ එක්ක පොහොට්ටුවට එන්න එන්නම ඡන්ද ප්‍රමාණය වැඩිවනවා. එතුමා එක්ක මේ රට, ආණ්ඩුව ගෙනියන්න හැකි අය පාර්ලිමේන්තුවට පත් කරලා එවන්න යැයි එතුමා ඉල්ලා සිටින්නේ. පොහොට්ටුවේ ලැයිස්තුවේ ඉන්නේ එසේ වැඩ කරන පිරිසක්. අනිත් පැත්තේ ඉන්නේ අන්තවාදීන්, ත්‍රස්ත්‍රවාදීන් එක්ක දේශපාලන ප්‍රතිපත්තියක් නැතිව එහෙට මෙහෙට පනින කණ්ඩායමක්. ඔවුන් වැඩකට ගන්න බැහැ කල්ඉකුත් වෙලා. කල් ඉකුත් වුණ අය තමයි දෙපැත්තට බෙදා ගෙන තියෙන්නේ.” යනුවෙන්ද පැවසීය.

No comments:

Powered by Blogger.