Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් බේරෙන්න බෝරා මුස්ලිම් නායකයා පිරිස සමග ලංකාවට එයි

න්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකා පාර්ශ්වය සමග මේ පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා එම පිරිසට විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බවත් ඔවුන් අදාළ කාලයේදී ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ සූදානමින් පසුවන බවත් පැවසේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේගෙන් ‘අරුණ’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි ඉල්ලීමකට රජය අවසර ලබාදී ඇති බවයි.

‘‘බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තියෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා‘’

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ් -19 වයිරසය වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවද අතිරේක ලේකම්වරයා පැවසීය.

‘‘ඒගොල්ලෝ දැනට ඉන්නේ මුම්බායිවල. එහෙන් පිටත්වෙන්න පැය හතළිස් අටකට කලින් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරලා වාර්තාවක් ගන්න කියලා අපි ඔවුන්ට උපදෙසා ලබාදුන්නා. එතකොට අපි දන්නවා ඒ දවස් දෙක ඇතුළත ඔවුන්ට වයිරසය ආසාදනය වෙලා නැහැ කියලා. ඊට පස්සේ අපි කෙළින්ම ඔවුන්ව ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයට (බණ්ඩාරවෙල) යවනවා. එතන ඔවුන් නිරෝධානය වෙන්නේ යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව. නිවාඩු නිකේතනයක් කියල ඔවුන්ට කැමති විදිහට එතන ඉන්න බැහැ.

නිරෝධායන කාලය අවසන් වෙන්න කලින් නැවත වතාවක් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ඒක අපි ඔවුන්ට සූදානම් කර දෙනවා. එතන කාර්යමණ්ඩලයටත් අපි උපදෙස් ලබාදීල තියෙනවා සියලුම ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුව ඒ නිවාඩු නිකේතනයේ සේවක පිරිසක් පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් සැරසිලා තමයි අදාළ සේවා සපයන්නෙ’’

කෙසේ වෙතත් මෙම පැමිණීමට මෙතෙක් දිනනියමවී නොමැති බවත්, ඔවුන් මෙරට රැඳී සිටින කාලය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් නොමැති බවත් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– aruna


No comments:

Powered by Blogger.