Header Ads

Breaking News
recent

හිටපු ජනාධිපති, ගහපු අත්සන් විසිඑක්දාහ සිංගප්පූරු ජනාධිපති තවම කියවනවා ඇති - පී. හැරිසන්

හ බැංකු වංචාවේ ප‍්‍රධාන සැකකරු, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරු ජනාධිපතිවරයා වෙත යැවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිකුත් කළ පිටු විසි එක් දහසක්, පිටුවෙන් පිටුවට අත්සන් කිරීමට සිදුවීමෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඇඟිලිවල කරගැට මතුවීම පිළිබඳ තමා කනගාටුවට පත්වන බව අනුරාධපුර හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන් මහතා පැවසීය.

පෙරේදා (02 දා) අනුරාධපුරදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා තම දෑත්වල කරගැට මතුවන තුරු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට කැඳවා ගැනීමට යැවූ ලිපියට අත්සන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, කළ යුතුව තිබුණේ රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් ලිපි හුවමාරු කර ගනිමින් අවශ්‍ය නීත්‍යනුකූල කටයුත්ත කර ගැනීම පමණක් බවත් මන්ත‍්‍රීවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රී පී. හැරිසන් මහතා,

හිටපු ජනාධිපතිවරයා කියන විදිහට එතුමා විසින් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අත්සන් විසි එක් දහසක් ගැහුවා නම් සිංගප්පූරු ජනාධිපතිවරයාට තිබෙන වැඩ කන්දරාවත් සමග එතුමාට එය කියවන්න වෙලාවක් නැතිව ඇති. ඒ වගේම සිංගප්පූරු ජනාධිපතිවරයා ඒ පිටු විසි එක් දාහ තවමත් කියවනවා ඇති.

දෙරටේ තානාපතිවරුන් හරහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් අපේ හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් යැවීමට ක‍්‍රියා කළා නම් අර්ජුන් මහේන්ද්‍රන්ව මේ වනවිටත් ගෙන්වා ගැනීමට හැකිව තිබුණා. එහෙම වුණා නම් හිටපු ජනාධිපතිවරයාට ඔච්චර වද වේදනා විඳින්න උවමනාවක් නෑ. මහ බැංකු වංචා වාර්තාවේ ඇතුළත් පිටු විසි එක් දහසම අත්සන් කිරීමට අවශ්‍යද කියා මම දන්නෙ නෑ. එහෙම නැති නම් අපේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ සිංගප්පූරුවේ ජනාධිපතිවරයා අතර පිළිගැනීමක් නැතිව ඇති.

ඒ වගේම ලෝකයේ ජනාධිපති කෙනෙක් මේ විදිහේ රාජ්‍ය තාන්ත‍්‍රික ලිපි ගනුදෙනුවක් සිදු කළ බවට ලෝකයේ පළමු වතාවටයි මම ඇහුවේ. ලෝකයේ ජනාධිපතිවරු එක පුද්ගලයකු තම රටට ගෙන්වා ගැනීමට අත්සන් විසි එක් දාහක් ගහනවා නම් තව හත් අට දෙනෙක් රටට ගෙන්වා ගැනීමට නම් අත්සන් කෝටි ගණනක් ගහන්න වෙයි.

ඒ නිසා මේ විහිළු කතා අවශ්‍ය නෑ. රටේ ජනාධිපතිවරයා හැටියට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කළා නම් අර්ජුන් මහේන්ද්‍රන්ව බොහොම ලෙහෙසියෙන් ගෙන්වා ගැනීමට තිබුණා. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා උනන්දු වුණාද කියන එකයි මට තියෙන ප‍්‍රශ්නය.

එතුමාගේ ප‍්‍රකාශය ලෝකෙටම ප‍්‍රචාරය වුණොත් එතුමාගේ රාජ්‍ය තාන්ත‍්‍රික භාවය සම්බන්ධයෙන් අනික් රාජ්‍ය නායකයින් තුළ ප‍්‍රශ්නයක් ඇති විය හැකියි. මේ අයුරින් රාජ්‍ය තාන්ත‍්‍රික ලිපි යවන බව මම කිසිදාක අහලා නෑ. කොහොම හරි වත්මන් ජනාධිපතිවරයා හෝ රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කර අවශ්‍ය පුද්ගලයෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු


No comments:

Powered by Blogger.