Header Ads

Breaking News
recent

කරුණා අම්මාන්ගේ 'රහස් රැසක්' එළියට: CID පරීක්ෂණ රැසක් යටගහලා!

මහින්ද රාජපක්ෂ තමන්ට පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවට එන ලෙස ආරාධනා කළ බවත්, තමන් එක රැයකදී අලිං මංකඩදී
හමුදාවේ 2000ක් 3000ක් මරා දැමු බවත් එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් පසුගිය දා සිදුකළ ප්‍රකාශයත් සමග මැතිවරණ වේදිකාවේ දැඩි ආන්දෝලනයක් මතුව ඇත.

ඒ සමගම ඔහු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරනු ලැබූ විමර්ශන කිහිපයක් පිළිබඳව ද අනාවරණය වෙමින් තිබේ.

කාරුනා අම්මාන් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් බ්‍රිතාන්‍යට යාමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබු විමර්ශනය එකල රජයේ ප්‍රධානීන්ගේ බලපෑම් හේතුවෙන් යටගසා තිබීම ඉන් එක සිද්ධියකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු රාජ්‍ය පාලන සමයේදී බ්‍රිතාන්‍යයේ පැවති සමුළුවකට සහභාගී වන මෙන් ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයකුට එරට රජයෙන් ආරාධනයක් ලැබී තිබු අතර රජයේ බුද්ධි අංශ විසින් එම ආරාධනා පත්‍රය කරුණා අම්මාන්ට අදාල පරිදි වෙනස් කර ව්‍යාජ විදෙස් ගුවන් ගමන් බලපත්‍රයක් සාදා ඔහුවට බ්‍රිතාන්‍යට පැනයාමට  අවස්ථාව ලබා දී තිබිණ.

එසේ ඔහු බ්‍රිතාන්‍යට ගියද ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කර තිබු බැවින් එහිදී ඔහුව අත්අඩංගුවට පත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට වසර දෙකක පමණ කාලයක් සිරදඬුවම් විදින්නට ද සිදු විය.

ඉන් පසුව යළිත් ඔහු ලංකාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් ඔහුගේ ආරක්ෂාව සහතික කළ බැවිනි.

කරුණා අම්මාන්ට ලංකාවේ ආණ්ඩුව විසින්ම ව්‍යාජ පාස්පෝට් හදා දී බ්‍රිතාන්‍යයට පැටවීමට කළ උත්සාහය හසුවීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ තිබූ තම වීසා නිකුත් කිරීමේ අංශය ඉන්දියාවට ගෙන යාමට කටයුතු කළ බව එකල මාධ්‍ය වාර්තාවල සඳහන් ව තිබිණ.

කරුණා අම්මාන් සිදුකල වරද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශනය ආරම්භකර තිබුන ද එකල ආණ්ඩුවේ ඉහලින්ම එල්ලවූ බලපෑම් හමුවේ එම විමර්ශන අතරමඟ අතහැර දමා තිබිණ.

රවිරාජ් ඝාතනයට යොදාගත් තුවක්කුව !

 එසේම, දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විසින් සිදුකල විමර්ශනයක දී එම ඝාතනයට යොදාගෙන තිබුනේ රජයේ බුද්ධි අංශ විසින් කරුණා අම්මාන්ට ලබාදී තිබු තුවක්කුවක් බවට හඳුනගෙන තිබිණ.

රජයේ බුද්ධි අංශ විසින් කන්තලේ ස්ථාපිත කර තිබු රහස් කඳවුරක දී 2007 දී පමණ ස්වයංක්‍රිය අවි 400කට ආසන්න ප්‍රමාණයක් කරුණාගේ කණ්ඩායම වෙත ලබාදී තිබු අතර නඩරාජා රවිරාජ් ඝාතනයට යොදාගෙන තිබී ඇත්තේ ඉන් අවියක් බවට ද තහවුරුවී ඇත.

කෙසේවුවද රජයේ ඉහලම බලපෑම් මත ඊට අදාල විමර්ශන අතහැර දැමීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව තිබිණ.

කරුණා වෙනුවෙන් අගමැති මහින්දගෙන් ප්‍රකාශයක්

කෙසේවුවද පසුගියදා කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වන අගමැති මහින්ද රාජපක්‍ෂ පවසන්නේ, විපක්ෂය කුමනාකාරයේ චෝදනා ඉදිපත්කලද කරුණා මිනීමරන එක අත්හැර ආරක්ෂක බුද්ධි අංශ සමග එක්ව බෙදුම්වාදය පරාජය කිරීමට එක්වූ බව අමතක නොකරන ලෙසයි.

 “ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” යන මැයෙන් අද (ජුනි 28 ) පැවැත්වූ දේශනයේ පිටපතක ඒ බව පෙන්වා දී ඇත. එහි මෙසේද සඳහන් වේ.

''කරුණා අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුරුවලට ගහලා සෙබළුන් දහස් ගණනක් මරපු බව කිවුවයි කියලා යහපාලන විපක්‍ෂය උඩ පනින හැටි අපි පහුගියදා දැක්කා. ලොකු චිත්‍රය යටපත් කරලා, වෙන වෙන කාරණා ඉස්සරහට දාන්න කොයි තරම් ලේසිද කියලා ඒකෙන් පේනවා.

කරුණා මෙන්න මෙහෙම කිවුවා, ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශවයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැනත් හොයලා බලන්න වටිනවා.

මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගන්න කියලා  මෝඩ විදියට  ආයුධ ලොරි ගණන්, මුදල් ගෝනි ගණන් කොටි සංවිධානයට දුන්නා.  ඊට පස්සෙ කොටි අපිට ගැහුවේ ඒ ආයුධ වලින්මයි. 2002 දී ඒගොල්ලෝ සටන් විරාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකම ප්‍රභාකරන්ට ලියල දුන්නා.

යහපාලන ආණ්ඩුව කාලේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. ඊට පස්සෙ, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මූලධර්ම සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුළත් කළා.

කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. ප්‍රභාකරන්ගේ මෘත දේහය හඳුනාගන්න අපි යැවුවෙත් කරුණාව.

කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්. ඒකයි මම හැම වෙලාවෙම අවධාරණය කරන්නේ, පොඩි චිත්‍රය නොවෙයි, ලොකු චිත්‍රය ගැනම අවධානය යොමු කරන්න ඕන කියලා.''

2005 නොවැම්බර් මාසයේ තමා ජනාධිපති වුවාට පසු කොටි සංවි‍ධානය සහමුලින්ම විනාශ කර දැමු බවත්, කරුණා ඒ කාලයේ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් දෙකම අත්හැර කොටි සංවිධානයෙන් ඉවත් වී යුද හමුදා බුද්ධි අංශයට යටත් වූ  නිසා ඔහු කොටි සංවිධානයත් එක්ක විනාශ නොවුන බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

''කාටද මේ බොරු කියන්නෙ'' - කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරුණා අම්මාන් ගැන කල සඳහන ගැන සිය FB පිටුවේ සටහනක් පළකර ඇති කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

"2005 නොවැම්බර් මාසයේ මම ජනාධිපති වුණාට පස්සෙ, අපි කොටි සංවි‍ධානය සහමුලින්ම විනාශ කරලා දැම්මා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් දෙකම අත්හැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධි අංශයට යටත් වෙච්ච නිසා ඔහු කොටි සංවිධානයත් එක්ක විනාශ වුණේ නෑ," කියලත් කියනව. එතකොට මෙයා ජනාධිපති උනාම තමා කරුණ කැඩිල ඇවිත් තියෙන්නෙ. කාටද මේ බොරු කියන්නෙ. ඊට අවුරුදු කීයකට ඉස්සෙලද කරුණ කැඩුනෙ? කරුණ කැඩුනෙ රනිල්ගෙ සාම ක්‍රියාවලිය කාලෙ.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ අංශයේ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග මතභේද ඇති කර ගෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් විය. ඒ 2004 වර්ෂයේදී පමණය.

ඔහුට කොටි සංවිධානයෙන් එලෙස ඉවත් වීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙන්නේ,  2002 පෙබරවාරි මස 22 වැනිදා එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුමයි.

-theleader

No comments:

Powered by Blogger.