Header Ads

Breaking News
recent

ලංකාව ජිනීවා තොණ්ඩුවේ හිර කරන්න සම්බන්ධන්ලා වැඩ අරඹයි : මෙවර යෝජනාව තදයි

ළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඊයේ (22 වැනිදා) පැවසීය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය ගැන දෙමළ ජාතික සන්ධානය යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවල් වෙත ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකාව පවසන ආකාරයට ජිනීවා යෝජනාවලින් මිදීමට නොහැකි බවත් හෙතෙම කීය.

46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට සූදානම් වන නව යෝජනාව හා දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

යුද සමයේ දී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මගින් අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරලීමෙන් මිදී යෑමට ශ්‍රී ලංකාවට කිසි ලෙසකින් ඉඩ නොතබන බවද මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

ලබන වසරේ (2021) මාර්තු මාසයේ දී ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වේ.

මෙම යෝජනාව සකස් කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් කිහිපයක සහයෝගය ඊට ලබා ගැනීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන බවද කියැවේ.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම නව යෝජනාව ඉදිරිපත් කිරීමේ ‘සැලැසුම්කරු’ ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැංවීමේ කටයුතු පිළිබඳ මහ ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝය.

මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වීමෙන් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වී ඇත.

-mawratanews


No comments:

Powered by Blogger.