Header Ads

Breaking News
recent

ලෝක උරුමයක් අවදානමකට පත් කරමින් සිදු කරන්නට යෝජනා කරන මේ ව්‍යපෘති පිටුපස සිදුවන්නට ඉඩ ඇත්තේ කුමක් ද?

චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යපෘතිය හරහා කලාපීය රටවල් ගණනාවක මාර්ග, ගුවන් හා නාවික ගමනාගමන ව්‍යපෘතියක් ක්‍රියාත්මක වේ.

අපේ රටෙත් හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය මේ ව්‍යපෘතියේ කොටසකි.

චීනය සිය ආර්ථික, දේශපාලන මෙන්ම සාමාජීය බලපෑම එල්ල කරමින් සිටින්නේ එක් තීරයක් එක් මාවතක් හරහා පමණක් නොවෙයි.

ජලයත් දැන් මේ බලපෑමට ලක්වෙමින් තිබේ.

හාවඩ් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය ඔවුන්ගේ වෙබ් අඩවිය තුළ ප්‍රසිද්ධ කර ඇති පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙන්නේ චීනය ජලය සම්බන්ධයෙන් දකුණු හා අග්නිදිග ආසියානු රටවල් ප්‍රාණ ඇපයට ගනිමින් සිටින බවයි.

මහාචාර්ය පැට්‍රික් මෙන්ඩිස් සහ ආචාර්ය ඇන්ටොනීනා ලුෂිකීවික්ස් විසින් මේ පර්යේෂණ වාර්තාව සම්පාදනය කර ඇත.

එහි දැක්වෙන්නේ, දැනටමත් චීනය ටිබෙට් නිම්නයෙන් ආරම්භවන බ්‍රහ්මපුත්‍ර, ඉරවාඩි සහ මීකොම් ගංගා හරස්කර වේලි ඉදිකර ජලය රැස්කිරීම සිදු කරන බවයි.

මේ මගින් තමන්ට අවශ්‍ය පරිදි ජලය රැස් කරගෙන ඔවුන්ට අවශ්‍ය වේලාවේදී පමණක් පාලනය කරමින් මුදා හැරීමට හැකියාව ලැබී ඇති බව එහි සඳහන් ය.

චීනයේ මේ පිළිවෙත නිසා එම ගංගාවල පහළ ප්‍රදේශවල ජනතාවට ජලය අහිමි වීමේ අවදානමක් මතුව ඇති අතර ඔවුන්ට ජලය අවශ්‍ය නම් චීනයෙන් එය ලබා ගැනීමට සිදුවී තිබේ.

මෙම ක්‍රියාවලිය හරහා ලෝක ජනගහනයෙන් අඩක්ම ජීවත්වන දකුණු හා අග්නිදිග ආසියානු රටවල ජනතාව ඔවුන්ගේ ග්‍රහණයට ලක්කරමින් සිටින බව හාවඩ් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය ප්‍රසිද්ධ කළ පර්යේෂණ වාර්තාවේ සඳහන් ය.

එම වාර්තාවේ මෙම ක්‍රියාවළිය හඳුන්වා ඇත්තේ චීන ජල ප්‍රාණ ඇප උගුල ලෙසය.

කාම්බෝජය, වියට්නාමය, ලාඕසය, මියන්මාරය හා තායිලන්තය දැනටමත් මේ තත්ත්වයට පත්ව ඇති අතර ඉන්දියාවද ක්‍රමයෙන් එම උගුලට ග්‍රහණය වෙමින් ඇත.

ශ්‍රී ලංකාවත් ක්‍රමයෙන් චීන ජල ප්‍රාණ ඇප උගුලට හසුවෙමින් තිබේ ද?

සිංහරාජ වනාන්තරය තුළත් ඒ අවටත් ඇත්තේ පිරිසිදුම ජල මූලාශ්‍ර බව අප කවුරුත් දන්නා කරුණකි.

සිංහරාජ වන අඩවිය මූලාශ්‍ර කරගත් ප්‍රධාන ගංගා 3ක් හරස්කර ජලාශ දෙකක් ඉදිකර චීනය මේ සිදුකරන්නට උත්සාහ දරන්නේ පිරිසිදු පානීය ජල මූලාශ්‍රවල පාලනය ඔවුන් අතට ගැනීම ද?

සිංහරාජ ජලපෝෂක ප්‍රදේශය අපට අහිමි වුවහොත් ඒ මගින් එම ප්‍රදේශය පමණක් නොව රටේම ජල මූලාශ්‍රවලට බලපෑමක් නොවන්නේ ද?

අප දැනටමත් චීනයේ විදුලිය ප්‍රාණ ඇප උගුලට හසුවී සිටී.

රටේ විදුලිය සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් සිදුකරන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කළේ චීන සමාගමකි.

අදටත් එහි අලුත්වැඩියා හා මෙහෙයුම් සිදුවන්නේ චීන ජාතිකයින් අතිනි.

අවස්ථා ගණනාවකදී මේ බලාගාරයේ විදුලිය සැපයුම් බිඳ වැටුණු අතර ගල් අගුරු නිසා සිදුවන පරිසර හානියද ඉතා විශාලයි.

නොරොච්චෝලේ බලාගාරය නිසා අපේ රටටත් ආර්ථිකයටත් සිදුකරන බලපෑම අපට දැන් වැළැක්විය නොහැකි තත්ත්වයකට පත් වී අවසන්.

ජලය සම්බන්ධයෙන් සිදුවන්නට යන්නේත් මේ තත්ත්වයම ද?

නිව්ස්ෆස්ට් වාර්තා කරන්නේ රටේ ජාතික අභිලාෂයන් මුල්කරගෙනයි.

ජාත්‍යන්තර සබඳතා අත්‍යාවශ්‍ය වුවත් ඇමරිකාව, චීනය , ඉන්දියාව වේවා වෙනත් රටක් වේවා මෙවැනි බලපෑම් එල්ල කරද්දී අපි අපේ රටේ අභිලාෂයන් මූලික කරගෙන වාර්තා කිරීමට සෑම විටම බැඳී සිටී.


No comments:

Powered by Blogger.