Header Ads

Breaking News
recent

රාජ්‍ය ඇමති, වෙන්නප්පුවේ ජාවාරම් මඩින ඒකකය විසුරුවා නිලධාරීන්ද මාරුකරයි


වෙන්නප්පුව ප‍්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීම නිසා එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ උදහසට ලක්වී මාරුකර යැවූ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා මෙම ජාවාරම් මර්දනයට යොදාගත් විශේෂ පොලිස් ඒකකයද වහා ක‍්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර එම ඒකකයේ නිලධාරීන්ද මාරු කර යවා ඇත.
එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි සාලියවැව, වව්නියාව, මුලතිව්, මාදම්පේ පොලිස් ස්ථානවලට මාරුකර යවා තිබේ.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන්, හෙරොයින්, ගංජා ජාවාරම් මර්දනය කර වැලි සහ මැටි කැපීමේ ජාවාරම්ද පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් ප‍්‍රදේශය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙකුගේ ගෝලයෝය. මෙම ජාවාරම්කරුවන් මුදවා ගැනීමට අවස්ථා රැුසකදීම අදාළ දේශපාලනඥයයා සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට දැඩි බලපෑම් එල්ල කර තිබිණි.

එහෙත් එම බලපෑම්වලට යටත් නොවූ සහකාර පොලිස් අධිකාරිවරයා මෙම මෙහෙයුම් නොනවත්වා කරගෙන ගොස් තිබිණි.

පසුව එම දේශපාලඥයා රජයේ ඉහළම දේශපාලනඥයකුට ආයාචනා කර සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා සහ ඒ මහතා යටතේ තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කළේය.

එරික් පෙරේරා මහතා මෙසේ මාරුකර යැවීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව දැඩි අප‍්‍රසාදය පළකර සිටින අතර ඉදිරි දිනවලදී ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් සිටිති.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ දීර්ඝ කාලයක් රාජකාරි කළ දක්‍ෂ කාර්යශූර නිලධාරියෙකි.

නැගෙනහිර පළාතේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් සමග වසර ගණනක් සිදුකළ සටන්වල පුරෝගාමීවව කටයුතු කර ඇති එරික් පෙරේරා ත‍්‍රස්තවාදින්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි නිලධාරියෙකි.

2001 වර්ෂයේ රජය සහ එල්. ටී. ටී. ඊ. ය අතර සාකච්ඡුා ආරම්භ වීමෙන් පසු කාංචනකුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට පහරදීමට පැමිණි ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ එම කඳවුර භාරව කටයුතු කරමින් සිටි එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින්ය.

එම සිද්ධියෙන් පසු එවකට රජය විසින් එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ද කටයුතු කර තිබිණි.

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තයන්ගේ මරණ ලැයිස්තුවට එරික් පෙරේරා මහතාගේ නම ඇතුළත් වූයේ මෙම සිද්ධියෙන් පසුවය.

හේමන්ත රන්දුණු
– divaina

No comments:

Powered by Blogger.