Header Ads

Breaking News
recent

ඉන්දීය විදේශ ලේකම් රාත‍්‍රියේදී දෙමළ දේශපාලන හමුවෙයි.. මාධ්‍යට තහනම්!

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (03) රාත්‍රියේ යාපනයේ සංචාරයක නිරත වෙමින් රාජ්‍ය නිලධාරීන් සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් හමු වී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා අද (04) උදෑසන නැවතත් කොළඹ බලා පිටත් විය.

ඉන්දීය විදේශ ලෙකම් වරයා ත්‍රීකුණාමලයේ සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ සවස යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය ඉන්දීය උප මහකොමසාරීස් රාකේෂ් නට්රාජ් ජෙයබාස්කරන් මහතා විසින් පිළිගන්නා ලදි.

අනතුරුව යාපනය මහත්මාගාන්ධි මාර්ගයේ ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන සංස්කෘතික ශාලාව නිරීක්ෂනය කිරීමට එක්වූ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මාධ්‍යට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ,

‘‘මට පුලුවන් වුනා යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබෙන ආවේනික කලානිර්මාන බලන්න. ඔබ දන්නවා ඇති මේ මධ්‍යස්ථාන ඉදිකරන්න ඉන්දීය රජය විසින් ඩොලර් මිලියන 11කට අධික මුදල් ප්‍රධානයක් යටතේ. මෙම ගොඩනැගිල්ලෙන් පිළිබිඹු වන්නේ ඉන්දියාවට මෙම සාම්ප්‍රදායක උරුමයන් රැකගැනීමට ඇති උවමනාවයි.ඒ වගේම මෙම මධ්‍යස්ථානයෙන් යාපනයේ ජනතාවට අවශ්‍ය සමාජ අවකාශයන් සලසනවා.එමගින් ඔවුන්ට සිය සාම්ප්‍රධායික සහ සංස්කෘතික අංග සමග සබඳතා වර්ධනය කරගත හැකියි. ඒවගේම මම ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා මේ සංස්කෘතික ශාලව විවෘත කරන දිනය නුදුරේම ප්‍රකාශ කිරීමට හැකි වනු ඇති බවට. යනුවෙනි.

අනතුරුව යාපනය පලාලි මාර්ගයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රාජ්‍ය නිලධාරීන් ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක් සිදුකරන ලදි.

මෙම හමුවේදී පළමුව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරු පලාතේ සංවර්ධන කටයුතු ඇතුලු ජනතාවගේ යටිතලු පහසුකම් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

පසුව එම පෞද්ගලික හෝටලයේදීම යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුව පැවති අතර එම සාකච්ඡාවන කිසිවක් ආවරනය කිරීමට මාධ්‍යට අවසර නොලැබුණි.

එහිදී උතුරු පලාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා , හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.