Header Ads

Breaking News
recent

උද්ඝෝෂණ මඩින්න ආණ්ඩුව රසායනික අවි යොදාගන්නවාදැයි සැකයි - අනුර කුමාර

උද්ඝෝෂණ මැඩලන්න ආණ්ඩුව රසායනික අවි පාවිච්චි කරනවා දැයි සැකයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

එමෙන් ම ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම් වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවා ද යන්න සැක සහිත බව මන්ත්‍රීවරයා පැවසීය.

“රනිල් වික්‍රමසිංහ අද උද්ඝෝෂණවලට පහර දීමට කුරුඳු පොලුවලින් පහර දෙන සංස්කෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බව” ද හෙතෙම කීය.

ජ.වි.පෙ. පක්ෂ මූලස්ථානයේ ඊයේ (මාර්තු 9) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

“පෙරේදා දිනයේ මියගිය කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරි, ප්‍රියන්ත වන්නිනායක සොහොයුරා මිය යන්නේ වෙඩි උණ්ඩයකට හෝ හදිසි අනතුරකට නොවෙයි. කඳුළු ගෑස්වල ප්‍රහාරය හේතුකොට ගෙන. මුහුණ සෝදාගෙන ටික වේලාවකින් ඔහු මිය යනවා. අපේ නිමල් සහෝදරයත් මිය ගියා මේ කඳුළු ගෑස් වැදිලා. මේවා ඝාතන. මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන පවා විශාල සාධාරණ සැකයක් තිබෙනවා. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි.

රසායනික අවි පාවිච්චි කරනවාදැයි සැකයක් තිබෙනවා. ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම් වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවාදැයි සැකයි. රනිල් වික්‍රමසිංහ ඉතාමත් වියරු මනසකින් මේ රට පාලනය කරන්න උත්සහ දරනවා. මේ අනතුර අපි කලින් ම හඳුනාගෙන තිබෙනවා. මේ අනතුර පරාජයට පත්කිරීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා.

රනිල්ගේ මේ වියරු ක්‍රියාමාර්ගයන්ට ජාතික ජන බලවේගයත් මේ රටේ පොදු මහජන බලයත් යටපත් කරන්න බැරි බවත් අවසානයේ ජයග්‍රහණය කරන්නේ මේ රටේ මහජනයාගේ බලය බවත් රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ මර්දනකාරී ක්‍රියාමාර්ග වහාම නතර කළ යුතුයි. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග අපි මුළුමනින් ම හෙළා දකිනවා. ඒ වගේ ම මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත්කිරීම සඳහා ගොඩනැගිය හැකි පුළුල්තම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් සමග කටයුතු කිරීමට අපි සූදානම්,” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.


No comments:

Powered by Blogger.