Header Ads

Breaking News
recent

පකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයක්… 73ක් මිය යති… වාහන 35 ගිනි තබා හැඳුනුම්පත් පරීක්ෂා කරමින් මිනිස්සු මරලා!

පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ දී ඊයේ (26) බෙදුම්වාදී සටන්කාමීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානවලට, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව ආරක්ෂක හමුදා විසින් ප්‍රතිප්‍රහාර දියත් කර බවත් එහිදී අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගිය බවත් පකිස්ථාන බලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

වරායක් සහ රන් හා තඹ පතලක් සහිත සම්පත් වලින් සශ්‍රික දැනට චීනය විසින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතිවල නිවහන වූ නිරිතදිග පලාත දිනා ගැනීම සදහා දශක ගනනාවක් පුරා පැවති කැරැල්ලකට එරෙහිව සටන් වදින වාර්ගික සටන්කාමී  කණ්ඩායමක්වන  බලොච් විමුක්ති හමුදාව (BLA)  වසර ගණනාවක් පුරා දියත් කර ඇති ප්‍රහාර වලින් ප්‍රබලම ප්‍රහාරයක් ලෙස මෙය සැලකේ. 

බලොච් විමුක්ති හමුදාවේ (BLA) “Haruf” හෝ “අඳුරු සුළං කුණාටුව” ලෙස හැඳින්වූ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබිණි.

බලොච් විමුක්ති හමුදාව යනු දරිද්‍රතාවය බහුල පළාතේ ගෑස් සහ ඛනිජ සම්පත් අසාධාරණ ලෙස සූරාකන බව පවසමින් මධ්‍යම ආන්ඩුවට එරෙහිව සටන් කරන වාර්ගික කැරලිකාර කණ්ඩායම් කිහිපයකින් විශාලතම කණ්ඩායමය. ඔවුන්ගේ සටනේ අරමුණ වී ඇත්තේ මෙම ප්‍රදේශයෙන් චීනය නෙරපා බලුකිස්තානයට නිදහස්කර ගැනීමය.

2006 දී පකිස්ථාන ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද බලුච් ජාතිකවාදී නායක අක්බාර් බුග්ටිගේ මරණයේ සංවත්සරය සමරා තිබුනේ මෙම ප්‍රහාරයෙනි.

“මෙම ප්‍රහාර පාකිස්තානය අරාජික කිරීමට හොඳින් සිතා බලා කළ සැලසුමක්” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Mohsin Naqvi නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන අධිවේගී මාර්ගයක බස් රථ සහ ට්‍රක් රථ ඉලක්ක කර එල්ල වූ මෙම දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඇති වූ සටනින් සොල්දාදුවන් සහ පොලිසිය 14 දෙනෙකු සහ සටන්කාමීන් 21 දෙනෙකු මිය ගිය බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේය.

මගීන් මරා දැමුවා

ඉරිදා රාත්‍රියේ සන්නද්ධ මිනිසුන් මහා මාර්ගයක් අවහිර කර, මගීන් වාහනවලින් බැස්සගෙන ගොස් ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ට වෙඩි තැබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයුබ් අචක්සායි රොයිටර් පුවත් සේවයට පවසා ඇත. 

එම වාර්තා අනුව  මුසාකායිල් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ වාහන 35ක් පමණ ගිනි තබා ඇත.

“සන්නද්ධ පුද්ගලයින් මගීන් ඝාතනය කළා පමණක් නොව ගල් අඟුරු රැගෙන ගිය ට්‍රක් රථවල රියදුරන් ද ඝාතනය කළා” යැයි ප්‍රදේශයේ නියෝජ්‍ය කොමසාරිස් හමීඩ් සහීර් පැවසීය.

සටන්කාමීන් පාකිස්තානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ කම්කරුවන් ඉලක්ක කර ඇති අතර ඔවුන් තම භූමියේ සම්පත් සූරාකන්නන් ලෙස සලකති.

බලුකිස්තාන මහ ඇමති ගේ ප්‍රකාශය

බලුකිස්ථානයේ මහ ඇමතිවරයා පැවසුවේ සිවිල් වැසියන් 38 දෙනෙකු ද මිය ගිය බවයි. ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට වෙඩි තැබීමට සහ වාහනවලට ගිනි තැබීමට පෙර සන්නද්ධ මිනිසුන් මගීන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කළ බවත් ඉන් වාහනවලින් බස්සවා සිදුකළ ප්‍රහාරයෙන් ඔවුන්ගෙන් 23 දෙනෙකු මිය ගිය බවයි.

“මිනිස්සු බස්වලින් බස්සලා ඔවුන්ගේ පවුල් ඉදිරිපිට මරා දැමුවා,” මහ ඇමති සර්ෆ්රාස් බුග්ටි රූපවාහිනී මාධ්‍ය හමුවකදී පැවසීය.

පලාත් අගනුවර පකිස්ථානයේ සෙසු ප්‍රදේශ හා සම්බන්ධ කරන දුම්රිය පාලමක පිපිරීම් හේතුවෙන් Quetta සමඟ දුම්රිය ගමනාගමනය අත්හිටුවන තිබේ. සටන්කාමීන් අසල්වැසි ඉරානයට විහිදෙන දුම්රිය මාර්ගයකට ද පහර දුන් බව දුම්රිය නිලධාරි මුහම්මද් කෂිෆ් පැවසීය.

පොලීසිය පැවසුවේ, දුම්රිය පාලමට ප්‍රහාරය එල්ල වූ ස්ථානය ආසන්නයේ තිබී තවමත් හඳුනා නොගත් මළ සිරුරු 6ක් සොයාගත් බව ය.

පකිස්ථානයේ විශාලම, එහෙත් ජන ගහණය අඩුම පළාත බලුකිස්තානයයි.  මෙම ප්‍රහාරයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගොඩබිම් බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් ලී කියෝමිං සහ පාකිස්තානයේ හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් සඳුදා හමුවූ නමුත් රැස්වීමෙන් පසුව පාකිස්තාන හමුදාව කළ ප්‍රකාශයේ ප්‍රහාර ගැන සඳහනක් නොතිබිනි. 

ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර එල්ල කර වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවට පකිස්ථාන  අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රතිඥා දී ඇත.

No comments:

Powered by Blogger.