Header Ads

Breaking News
recent

ප්‍රසන්න රාජපක්ෂ ආණ්ඩුවේ රෙදි ගලවයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට්ටුව ඇතුළේ 1/5 ක් රාජපක්ෂවරු සිටි බවත් තමාද එම කැබිනට්ටුවේ සිටියද පංච මහා බලවේගය එකතු කිරීමට බැරිවුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රට භාර දුන්නොත් රටේ හා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න දෙයක් නැතිවෙන බැවින් මේ මොහොතේ රටේ අනාගතය භාර දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් සඳහන් කළේ,

“අපි එදා 2015 මහින්ද මහත්තයා පැරදුණාම සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන අපේ පංච මහා බලවේගය ඒකරාශී කරන්න බලාපොරොත්තු ඇතුව තමයි පොහොට්ටුව නිර්මාණය කළේ. පොහොට්ටුව ආරම්භ කරලා පොහොට්ටුව එක්ක වැඩ කරලා රටේ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ අපි ජයග්‍රහණය කළා.

පළාත් පාලන මැතිවරණයෙන් අපි 90% ක් ජයග්‍රහණය කළා. ජනාධිපතිවරණයෙන් හැටනව ලක්ෂයක් ජනතාව බොහෝම විශ්වාසයෙන් ජාතික ආරක්ෂාව ගැන සළකලා ගෝඨාභය මැතිතුමාව ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අපිට තිබුණා. වැඩ ආරම්භ කරනකොටම ඇතිවුණු කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික අර්බුධයක් ඇති වුණා. ආණ්ඩුවක් හැටියට අපිට පුළුවන්කමක් තිබුණේ නෑ ආර්ථිකය ගොඩගන්න.

එදා කැබිනට්ටුවේ අපි හිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටියා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා. නාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍ය ධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්ෂවරු. මමත් ඒ කැබිනට් එකේ හිටියා. එදා පංච මහා බලවේගය එකතු කරන්න ගිය අපිට ඒක කරන්න බැරි උනා. වෙන අය තමයි උපදෙස් දුන්නේ.

ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට එදා කමිටුවක් දාලා අපි කමිටුවේ නිර්දේශ දුන්නා මේ විදියට ක්‍රියාත්මක කරන්න කියලා. එදා අපේ ආණ්ඩුව අපි කියන දේ ඇහුවේ නෑ. ප්‍රතිඵලය විදියට පංච මහා බලවේගයන්ගෙන් එකක් අපෙන් ගැලවුණා. එදා පොහොර ප්‍රශ්නේ එනකොට අපි හැමෝම කිව්වා කාබනික පොහොර ප්‍රශ්නය ඔහොම විසදන්න බෑ කියලා.

ලෝක ආර්ථික අර්බුධයක් ඇතිවෙලා තියෙන වෙලාවේ ඒ විදියට අපි ක්‍රියාකරන්න ඕන කියලා. ඒක ඇහුවෙත් නෑ. එතනදි අපිට තව බලවේගයක් අහිමි උනා. එදා ජනාධිපතිතුමා රුවන්වැලි සෑයෙදීත් අපි දළදා මාළිගාවේදීත් දිවුරුම් දුන්නා. නමුත් අපේ සංඝයාවහන්සේලාට ඇහුම්කන් දෙන්න අපිට බැරි උනා. ඒ අයත් අපිට අහිමි උනා.

අපේ ආණ්ඩුව කඩාවැටිලා දේශපාලන අස්ථාවරභාවයක් ඇති උනා. ඒකට තව හේතු බලපෑවා. මතක ඇති ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. හොරු කියලා හැමෝටම බැන්නා. මිනිස්සු අතර බොරුව වැපිරුවා. රට පාරට ඇදලා දාන විදියට වැඩ කරලා දේශපාලන අස්ථාවරභාවයක් ඇති කළා. අපි ආණ්ඩුවෙන් අයින් උනා.

නමුත් අපි ආරාධනා කළා. විපක්ෂ නායකතුමාට රට භාරගන්න කියලා. කොන්දේසි විරහිතව උදව් කරන්නම් කිව්වා. ආණ්ඩු වට්ටන්න පුළුවන්. රාජ්‍ය වට්ටන්න බැරි නිසයි එහෙම කළේ. හැමෝම භාරගන්න බැහැයි කියනකොට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි.”

දිවුලපිටිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.


No comments:

Powered by Blogger.