Header Ads

Breaking News
recent

කුරුණෑගල රෝහලේ වැඩ බලන්න පත්කළ අධ්‍යක්ෂකත් ඉල්ලා අස්වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය .

හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා වෛද්‍ය ෆරීඩ් මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් මාසයක කාලයකට පත්කර තිබූ අතර ෆරීඩ් මහතා ඒ අනුව පසුගිය  5 වන දින එම තනතුරේ වැඩ භාර ගත්තේය.

තමන් එම තනතුරේ තාවකාලිකව වැඩ භාර ගත් දින වඳසැත්කම් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා සහ තමන් සම්බන්ධ කර කිසියම් පිරිසක් ජාතිවාදය නිර්මාණය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය.

ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුවක් අධිකරණයේ විභාගයට ගනිමින් සිටින අවස්ථාවක එම වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන තමන්ට චෝදනා නැඟීම සම්පුර්ණයෙන්ම වැරැදි සහගත ක්‍රියාවක් බවද මෙවැනි වාතාවරණයක් හමුවේ තමන්ට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රාජකාරි කිරීම අපහසු බැවින් මෙසේ තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවද එ් මහතා පැවසීය.

ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ තාවකාලිකව රාජකාරි කටයුතු සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා මහත්මියව නිර්දේශ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යැවූ බවද වෛද්‍ය ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.


No comments:

Powered by Blogger.